කරච්චි නගරයේ බිහිසුණු පිපිරීමකින් පසු ගොඩනැගිල්ලක් කඩා වැටී 16ක් ජීවිතක්ෂයට - ගොඩනැගිලි 600ක් අනතුරුදායකයි
By Kaushi
පාකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ සිදුවූ පිපිරීමකින් පසුව ගොඩනැගිල්ලක් කඩා වැටීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු අවම ලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රකාශක හසන් ඛාන් AFP පුවත් සේවය වෙත කියා තිබුණේ, "කාන්තාවන් සහ ළමුන් ඇතුළු දහසය දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත," යනුවෙන්.
එමෙන්ම ඔහු ප්‍රකශ කර ඇත්තේ මෙතෙක් හඳුනා නොගත් පිපිරීමකින් ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි අඳාළ තෙමහල් ගොඩනැගිල්ල මෙසේ කඩා වැටුණු බවයි.
ජ්‍යෙෂ්ඨ නගර නිලධාරි නස්රුල්ලා අබ්බාසි AFP වෙත සඳහන් කර ඇත්තේ, "පෙනෙන විදිහට එය ගෑස් පිපිරීමක් වගේ, නමුත් පරීක්ෂණයෙන් සිද්ධියට සැබෑ හේතුව හෙළි වෙයි," යනුවෙන්.
ඉකුත් වසරේ ජූලි මාසයේදී ද කරච්චි හි දුප්පත් ලියාරි ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා විය.
එසේම කරච්චි බලධාරීන් විසින් ගොඩනැගිලි 600ක් පමණ අනතුරුදායක ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.