වෙසක් පෝයට දේශපාලන රැලි නවත්වන්නැයි ඉල්ලීමක්
ලබන මැයි මස 1 වැනිදාට යෙදෙන වෙසක් පෝය දිනයේදී සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් හා පෙළපාළි පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත.
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ වෙසක් පෝය දිනය ආගමික වශයෙන් ඉතා වැදගත් බැවින්, දේශපාලන රැලි වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව ආගමික කටයුතු සඳහා යොමු වීම වඩාත් සුදුසු බවය.
මෙම ඉල්ලීමත් සමග, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) මැයි 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ කම්කරු රැලිය නොපැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
එමෙන්ම, සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ඇතැම් පාර්ශවයන් රැලිය පැවැත්විය යුතු බවටද යෝජනා කර ඇති බවද වාර්තා වේ.
මේ අතර, රට තුළ පවතින ආර්ථික සහ ඉන්ධන අර්බුදය මධ්‍යයේ මෙවැනි විශාල රැලි පැවැත්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව ආර්ථික විශේෂඥයෝ සහ මූල්‍ය අංශ පෙන්වා දෙති. සාමාන්‍යයෙන් එක් ප්‍රධාන දේශපාලන රැලියකට රුපියල් කෝටි දෙකකට ආසන්න වියදමක් දරන බවද ගණන් බලා ඇත.
එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර තිබේ.