''දේශපාලනයට නැවත එන්න කිසිම අදහසක් හෝ උනන්දුවක් නැහැ" - පියාගේ අභාවයෙන් පසු එළඹි පළමු උපන්දිනය දා කාංචන විජේසේකර තැබූ සංවේදී සටහන
දේශපාලන ජීවිතයෙන් සමුගෙන ආයතනික ක්ෂේත්රයට (Corporate Sector) පිවිස මේ වන විට මාස 23ක් ගතවී ඇති බවත්, නැවත දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බවත් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. එහිදී ඔහු සිය ජීවිතයේ වැදගත් සිදුවීම් දෙකක් සිහිපත් කර ඇත. ඒ, සිය දිවංගත පියාගේ 84 වැනි උපන්දිනය සහ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි සංවත්සරයයි.
එම මැතිවරණයට තරග කළ ද ජයග්‍රහණය කිරීමට ඔහුට හැකි වූයේ නැත. මැතිවරණයෙන් මාසයකට පමණ පසු දේශපාලනයෙන් සහ ඊට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමට තමන් තීරණය කළ බව ද ඔහු සඳහන් කර තිබේ.
"දේශපාලනයේ සිට ආයතනික ක්ෂේත්රය වෙත මාරුවීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී තිබෙනවා," යනුවෙන් ඔහු සිය සටහනේ සඳහන් කර ඇත. මුලදී අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වූ එම වෘත්තීය කටයුත්ත පසුව පූර්ණකාලීන වගකීමක් දක්වා වර්ධනය වූ බවත්, මේ වන විට එම කටයුත්ත තමන්ට සතුටක් සහ තෘප්තියක් ගෙන දෙන බවත් ඔහු පවසා තිබේ.
දේශපාලනයෙන් ඉවත් වීමත් සමඟ පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට, සෞඛ්‍යය හා ශාරීරික යෝග්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීමට, සංචාරය කිරීමට මෙන්ම පෞද්ගලික ජීවිතය සහ තම සංවර්ධනය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට අවස්ථාව ලැබුණු බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, නව අත්දැකීම් එක්කර ගැනීමටත්, ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් ගොඩනඟා ගැනීමටත් මෙම වෙනස හේතු වූ බව ඔහු පෙන්වා දෙයි.
තම දේශපාලන ජීවිතය තුළ ලැබුණු අවස්ථාවන් මෙන්ම, තමන් සමඟ කටයුතු කළ පුද්ගලයන්ගෙන් ලැබුණු විශ්වාසය, මඟපෙන්වීම සහ දිරිගැන්වීම් වෙනුවෙන් ද ඔහු කෘතඥතාව පළ කර තිබේ.
රාජ්‍ය සේවයේ සහ දේශපාලන ජීවිතයේ නිරත වූ කාලය තුළ තමන් කළ දායකත්වය පිළිබඳව තවමත් ආඩම්බර වන බව ද ඔහු සඳහන් කර ඇත. "මම දේශපාලනයෙන් ඉවත් වී සිටින අතර, නැවත දේශපාලන ජීවිතයට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට පිවිසීමට කිසිදු අදහසක් හෝ උනන්දුවක් මට නැහැ. මා තෝරාගත් මාර්ගය පිළිබඳව මම සතුටු වන අතර, ඉදිරියේදී එළඹෙන දේ පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න
මේ අතර, සිය දිවංගත පියාගේ අභාවයෙන් පසු එළඹි පළමු උපන්දිනය සිහිපත් කරමින් කාංචන විජේසේකර සංවේදී සටහනක් ද එක්කර ඇත.
"ඔහු අද අප අතර නොසිටියත් සදාකාලිකවම අපගේ හදවත් තුළ ජීවත් වනු ඇත. සදා මතකයේ රැඳෙන, සදා ආදරය ලබන පියෙකු ලෙස ඔහු අප සමඟ සිටිනු ඇත," යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ
. ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම යම් අරමුණක් ඇති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, ඇතැම් අත්දැකීම් තුළින් පාඩම් ඉගෙන ගැනීමටත්, තවත් අත්දැකීම් තුළින් පුද්ගලයන් හැඩගැස්වීමටත්, ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම නව ගමනකට සූදානම් වීමටත් අවස්ථාව ලැබෙන බව සඳහන් කර ඇත.
"අද දවස මතකයන්, ආවර්ජනය සහ කෘතඥතාව වෙනුවෙන් වෙන් වූ දිනයක්," යනුවෙන් ඔහු සිය සටහන අවසන් කර තිබේ.