"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බවට එල්ල කළ අනතුරු ඇඟවීමට ඉරානය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ලෝක බීබීසී පුවත් සේවය වාර්තා කළේ, සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරාන රජය ප්‍රකාශ කර ඇති බවයි.
ඉරානයේ රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රතිප්‍රහාරය සඳහා ඔවුන් සූදානම් බවත්, එය තම ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ කොටසක් බවත් පෙන්වා දී තිබේ.
ට්‍රම්ප් අනතුරු ඇඟවීම Truth Social හරහා සිදු කරන ලද අතර, එමඟින් මාර්තු 23 වැනිදා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය ලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ලෝක තෙල් සැපයුම්වල 20%කට ආසන්න ප්‍රමාණයක් ගලා යන හෝමූස් සමුද්‍ර සන්ධියේ වැසීම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.