අගමැති සහ විපක්ෂනායක ගේ නිදහස් දින පණිවුඩය.
අද වනවිට මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බව 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනුඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, "දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු," යනුවෙනි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, "අපේ මාතෘභූමියට නිදහස ලබා ගැනීම උදෙසා ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ කටයුතු කළ ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය. ස්වෛරී රටක එකම ධජයක සෙවනෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත්වීමේ පවිත්‍ර අපේක්ෂාවන් ඔවුන් තුළ වූහ. ඒ උදෙසා ස්වකීය ජීවිත පූජා කළවුන්ද, ලේ, දාඩිය, කඳුලු, හෙලූ විරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු," යනුවෙනි.