හොරෙන් ඉන්දියාවට පැන්න මගියා - CCTV වලින් හසුවූ දේ..

Bandaranaike International Airport India
By Sewvandhi Aug 30, 2023 12:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආගමන විගමන නිලධාරීන් අධිකරණ දෙකකින් විදෙස් ගමන් තහනමක් පනවා තිබියදී කටුනායකින් හොර රහසේ පළාගිය පුද්ගලයෙකු යළි කටුනායක වෙත ගෙන්වාගැනීමට සමත්ව තිබේ. මෙලෙස නීතිවිරෝධී ලෙස රටින් පළාගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මුම්බායි බලා ගමන් ආරම්භ කරන ගුවන් යානය ගුවන්ගතවීමට ආසන්නවීමත් සමග ආගමන විගමන කවුළු වෙත පැමිණ ඇති බවයි ,මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

එම අවස්ථාවේදී සියල්ලන්ගේ ඇස් වසා කිසිවෙකුත් නොසිටි ස්ථානයකින් ඔහු ගුවන් යානය වෙත යාමට සමත්ව තිබේ.ආගමන විගමන නිලධාරීන් වෙත,  ඔහු කවුළු අතරින් රිංගා යන අයුරු දුටු ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මේ පිළිබඳව දැනුම්දී තිබේ. එහිදී CCTV පරීක්ෂා කර පහු පළායන බවට තහවුරු කරගත්තද ඒ වනවිටත් ගුවන් යානය ගුවන්ගතව තිබී ඇත.

ඔහුට අධිකරණ දෙකකින් ගුවන් ගමන් තහනම් කර ඇති බවයි වැඩිදුර සිදුකළ විමර්ශනයන්හිදී හෙළිවී ඇත්තේ.  ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශපත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබාගෙන පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණය වී ඇත.

එසේම සැකකරු විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව ව්‍යාජ ලෙස සටහන් කර තිබූ බවද හෙළිවී තිබේ. අනතුරුව මුම්බායි ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ ගුවන් නියමුවා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුව අද නැවත ශ්‍රීලන්කන් යානයකින් කටුනායක වෙත ගෙන්වාගැනීමට සමත්ව තිබේ.

මෙරටට පැමිණීමෙන් අනතුරුව එම ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

ReeCha