රස්සාව මතක් වෙද්දිත් තිත්ත වෙනවද? එහෙනම් මේක ඔයාට කියවන්නම වෙනවා
තරඟකාරී ජීවන රටාව එක්ක අපි හැමෝම ගෙවන්නේ හරිම කාර්යබහුල ජීවිතයක්නේ. ඒ කාර්යබහුල ජීවිතේ මානසික ආතතියෙන් පුරවන තැනක් විදිහට ගොඩක් අය රැකියා ස්ථානය හඳුන්වනවා.
කොහොම වුණත් විවිධ මානසික තත්ත්වයන්ගෙන් ඉන්න මිනිස්සු ගොඩක් මැද වැඩ කරනවා කියන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම රැකියා ස්ථානය ප්‍රියමනාප නැත්තම් ඒ නිසාම මානසික අර්බුදවලට මුහුණ පාන අය ඉන්නවා. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ ඒ විදිහට රැකියා ස්ථානය නිසා මානසික ආතතිය වැඩි කරන් ඉන්න පාඨක ඔබ වෙනුවෙන් තියෙන විසඳුම්.
2024 ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ඉදිරිපත් කරලා තියෙන විදිහට බොහෝ වෙලාවට අපිට රැකියා ස්ථානය එපා වෙන්නේ හේතු කිහිපයක් නිසයි.

ඒ අතර වැඩ කරන්න අවශ්‍ය පහසුකම් නැතිකම, දරාගන්න බැරි තරම් වැඩ පැවරීම වගේම කරන වැඩේට හරියන පඩියක් නැතිකම තමයි ප්‍රධානම හේතු අතරට ගැනෙන්නේ. ඊට අමතරව ඇතැම් ආයතනවල තියෙන නීතිරීති, අනවශ්‍ය මැදිහත්වීම්, කරන කාර්යයට නිසි වටිනාකමක් නොලැබීම සහ කරන රැකියාවෙන් ඉදිරියට යන්න අවස්ථාවක් නැති වීම නිසාත් දිගින් දිගටම තම ශ්‍රමය සූරා කනවා කියලා අපිට දැනෙන්න ගන්නවා. මානසික තෘප්තිය නැති තැන ඇතිවෙන ආතතිය උපරිමයි කියනවනේ.
ඉතින් මේ කියන සාධකවලට දීර්ඝ කාලයක් මූහුණ පෑමෙන් ඔබ නොදැනුවත්වම වුණත් ඊට ඔබේ ශරීරය ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා.

ඒ ලක්ෂණ අතර නිතර කේන්ති යෑමෙන්, අමතක වීම් සහ අවධානය නැතිකම, නින්ද නොයාම, හෘද ස්පන්දනය වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුවත් දක්නට ලැබෙනවා.
මෙහි බරපතළම කාරණය වන්නේ දීර්ඝ කාලයක් මෙය නොසලකා හැරීමෙන් ඔබව සදාකාලික රෝගියෙක් බවටත් වුවත් පත් කිරීමට මෙම මානසික ආතතිය භයානක වෙන්න පුළුවන්.
ඉතින් මේ මානසික ආතතියෙන් ගැළවෙන්න නම් අපි මුලින්ම තමන්ගේ ආතතියට හේතුව හොයාගන්න ඕනේ.

ප්‍රශ්නේ තියෙන්නේ බාහිර පරිසරයේ නම් ඒක බාධකයක් නෙවෙයි, අභියෝගයක් විදිහට භාර ගෙන හිත හදා ගැනීම තමයි කළ යුතු වන්නේ.
ඒවගේම කුසලතා වැඩි දියුණු කර ගැනීමත් මීට හොඳ විසඳුමක්. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ දක්ෂතාවල අඩුවක් නිසා නම්, තමන්ගේ නොහැකියාව ගැන හිත හිත ලතවෙන්නේ නැතුව අලුත් දේවල් ඉගෙන ගන්න.
නිදසුනක් විදිහට ඔබේ ඉංග්‍රීසි හෝ පරිගණක දැනුම යාවත්කාලීන කර ගැනීම ඔබේ රැකියාව පහසු කරනවා.
ඒවගේම කතා කරන්න. හැම වෙලාවෙම හිතේ තියෙන පීඩනය විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරලා නිදහස් වෙන්න.
පොඩි විවේකයක් ගන්න. දිගු කාලයක් විවේකයකින් තොරව වෙහෙසනවා නම් ඔබේ මනසට වගේම කයටත් කෙටි විවේකයක් දෙන්න.
කොහොම වුණත් තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියනවනේ. ඉතින් ඒ වගේම සේවකයන්ට රැකියා ස්ථානය ප්‍රියමනාප ස්ථානයක් කරන්න ආයතන ප්‍රධානීන්ගෙනුත් ඉටු විය යුතු වගකීම් රැසක් තිබෙනවා. එක සේවකයෙක්ගේ මානසික පීඩාව මුළු ආයතනයටම බලපාන පුළුවන්.

ඒ නිසයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාත් මානසිකව වැටුණු සේවකයින්ගෙන් ආයතනයකට කවදාවත් සාර්ථක වෙන්න බෑ කියලා අවසන් නිගමනයකට එන්නේ.
කොහොම වුණත් ඔබ මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ජීවත් වෙන්න මිල මුදල් අවශ්‍ය වුණත් ඒ හා සමානවම ඔබේ මානසික සුවය වැදගත්. ඉතින් ඔබේ වටිනාකමට නිසි වටිනාකම ලැබෙන තැනක නතර වෙන්න.
