දැරියගේ මරණය යට ගහන්න යැයි පොලිස් ලොක්කෙක්ට අල්ලස්..

rishad badurdeen dayagama dheshabandhu thennakoon hishalini burn and dead
By Sewvandhi Jul 31, 2021 05:33 AM GMT
Report

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම උසස් නිලධාරියා දැරියගේ පවුලේ ඥාතීන් හමුවී පවසා ඇත්තේ ‘‘ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහ.මේ ප‍්‍රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.’’ යනුවෙන් කියමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

දැරියගේ අභිරහස් මරණය පිළිබඳව පොලිසියට කට උත්තර ලබානොදී මෙය සාමාන්‍ය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකා එය දිගින් දිගට ඇදගෙන යෑමට කටයුතු නොකරන ලෙස මෙම නිලධාරියා ඇගේ සොහොයුරන්ට සහ සමීප ඥාතීන්ට බලපෑම් එල්ල කර ඇත. මෙම නිලධාරියා විසින් සිදුකරන ලද බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ දැරියගේ අභිරහස් මරණයෙන් පසු ඇගේ සොහොයුරන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර වලදී ය.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිලධාරියා සොයා විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී හෙළිවූයේ මෙම නිලධාරියා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නවාස් නමැති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවය. මේ වන විට මෙම නිලධාරියාගේ දුරකථන වාර්තා විශ්ලේෂණයක් සිදුකරගෙන යන අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම නිලධාරියා කලක් රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික ආරක්‍ෂක පොලිස් නිලධාරියා ලෙස රාජකාරි කළ අයෙකි. මොහු බදියුදීන් පවුලේ සමීප හිතවතෙකි. මෙම දැරිය පිළිස්සී බරපතළ තුවාල ලැබීමෙන් පසු බදියුදීන්ගේ බිරිඳගේ පියා, නවාස් නමැති පොලිස් නිලධාරියාට දුරකථනයෙන් කතාකර මේ බව දැනුම් දී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

පසුව නවාස් නමැති පොලිස් නිලධාරියා බදියුදීන්ගේ නිවස වෙත ගොස් ඒ වන විට එහි පැමිණ සිටි දැරියගේ ඥාතීන් මුණගැසී එම සිදුවීම යට ගැසීමට ඔවුන්ට බලපෑම් එල්ල කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම, අල්ලස් ලබාදීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now