ගුරුවරුන්ට වැදගත් දැනුම්දීමක් - ගුරු සේවයේ III කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වීමට නියමිත 2026 III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබේ. 2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අද (25) සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා විභාගය සඳහා අයදුම් කළ හැකිය. මෙම විභාගයට අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 21 වැනිදා නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස්වී වසර හතරක් සම්පූර්ණ වීමට පෙර III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කිරීම අනිවාර්ය බව සඳහන් වේ.
එමෙන්ම, 2-I ශ්‍රේණියට උසස්වී වසර හතරක් ඉක්මවා තිබුණද, 2025 ජුනි 30 වැනිදායින් පසු I ශ්‍රේණියට උසස්වීම් හිමිවන ගුරුවරුන් ද එම උසස්වීම සඳහා අවශ්‍ය III කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.
විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලවල විෂය නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-Thaksalawa නිල වෙබ් අඩවියට එක් කර තිබේ. ඒ අනුව, අදාළ විෂය කරුණු අධ්‍යයනය කර විභාගයට සූදානම් වන ලෙස අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.