හයිසින්ත් විජේරත්න අනතුරට පත් වූ වෑන් රථයේ රියදුරු රිමාන්ඩ් (VIDEO)

hatton sri lanka Sri lanka Accsident Haysinth wijeerathna
By Sithumi Jul 31, 2021 11:50 AM GMT
Sithumi

Sithumi

Report

රිය අනතුරකට මුහුණ දීමෙන් ජීවිතක්ෂයට පත්වු ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර තිබේ. 

 හයිසින්ත් විජේරත්න මහත්මිය එලෙස අනතුරට ලක්වූයේ ටෙලිනාට්‍ය රූගත කිරීමකින් අනතුරුව නුවරළියේ සිට යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදීය. ඇය ගමන් ගත් වෑන්රථය නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ වූ කොත්මලාඔය දෙසට පෙරළීගොස් අනතුර සිදුව තිබුණි. 

 අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ ගමන් කර ඇත්තේ හයසින්ත් විජේරත්න මහත්මිය සහ රියදුරු පමණයි. අනතුරින් බරපතළ තුවාල ලබා සිටි හයසින්ත් මහත්මිය කඩිනමින් රෝහල් ගත කිරීම සඳහා ළිඳුල පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණි. 

නමුත්, ළිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මිය ගිය බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් රියදුරුට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු ළිඳුල පොලීසිය මඟින් අත්අඩංගුවට ගැණුනි. 

අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියදුරා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් තිලකා හේරත් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. 

 හයිසින්ත් විජේරත්න මහත්මිය වෑන් රථයේ පිටුපස අසුනක පැමිණ ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිව සිටි හයිසින්ත් විජේරත්න මහත්මිය එක් දරු මවක් වන අතර ඇගේ සැමියා ද දෙවසරකට පෙර මියගොස් තිබේ. මියයන විට ඇය 75 වන වියේ පසුවිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now