හරක් කටා ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..
අභියාචනාධිකරණය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව 'හරක් කටා' නමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ, නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතිසි නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල විසින්.
පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන් වනවා.
පෙත්සම යළි සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට දින නියම වී ඇත. තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 'හරක් කටා' නමැති සැකකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
