ඇඟ කිළිපොළා යන බිහිසුණු දුම්රිය අනතුර කැමරාවේ - ඇසැම්හි දුම්රිය මැදිරි පීලි පනින වීඩියෝවෙන් එළියට
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නගරය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
කොල්කටා සිට මිසෝරාම් ප්‍රාන්තයේ අයිසෝල් නගරය ආසන්නයේ පිහිටි සයිරෑන්ග් වෙත ධාවනය වෙමින් තිබූ කොල්කටා - සයිරෑන්ග් එක්ස්ප්‍රස් දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදාදා (11) උදෑසන 6.54ට පමණ ඩිගාරු දුම්රිය ස්ථානය ආසන්නයේදීය.
දුම්රිය මැදිරි පහක් පීලි පැනීමට ලක්ව ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, අනතුරින් කිසිවෙකු මියගිය හෝ තුවාල ලැබූ බවට එම අවස්ථාව වන විට වාර්තා වී නොතිබූ බව ඊසානදිග දුම්රිය සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය රියදුරු හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බව වීඩියෝවේ ඇසෙන සංවාදවලින් අනාවරණය වේ.
තිරිංග පද්ධතියේ පීඩනය අඩු නොවන බවත්, සංඥාව රතු පැහැයෙන් තිබියදීත් හදිසි තිරිංග ක්‍රියාත්මක නොවන බවත් එහිදී පුද්ගලයෙකු පවසනු ඇසෙයි.
රියදුරු විවිධ පාලක ස්විච ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද දුම්රිය පාලනය කරගැනීමට නොහැකි වන ආකාරය ද එම වීඩියෝවේ දැක්වේ.
අවසානයේ දුම්රිය බාධකයක ගැටී මැදිරි පීලි පැනීමට ලක්වන අයුරු ද එහි සටහන් වී තිබේ. අනතුරින් පසු ගලවා ගැනීමේ සහ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා විශේෂ දුම්රියක් එම ස්ථානයට යොමු කර ඇත.
ඊසානදිග දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද අනතුර සිදුවූ ස්ථානයට ගොස් තිබේ.
මේ අතර, දුම්රියේ ගමන් කළ මගීන් වෙනත් දුම්රියක් මගින් ඔවුන්ගේ ගමනාන්ත වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රියේ ආහාර සැපයුම් මැදිරියේ කළමනාකරු පවසා ඇත්තේ දුම්රිය ඩිගාරු දුම්රිය ස්ථානය පසුකර යන අවස්ථාවේ ශබ්දයක් ඇසුණු බවත්, ඉන් සුළු දුරක් ඉදිරියට ගිය පසු දුම්රිය පීලි පැන ඇති බව තමන්ට දැනුණු බවත්ය.
දුම්රිය පීලි පැනීමෙන් පසුවත් කිලෝමීටරයක් පමණ දුරක් එලෙසම ධාවනය වී ඇති බවත්, එම කාලය තුළ තමන් අසුනෙන් තුන්වරක් බිමට ඇද වැටුණු බවත් ඔහු සඳහන් කර තිබේ.