නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) දින උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ආකාරයට ඉහළ ගොස් ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
එසේම චිකාගෝ වෙළඳ මධ්‍යස්ථානයේ (Chicago Mercantile Exchange) ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත, මැයි මාසයේ සැපයුම් වෙනුවෙන් WTI බොරතෙල් බැරලයක මිල 1.78%කින් ඉහළ ගොස් ඩොලර් 100.10ක් වශයෙන් සටහන්ව ඇත.
එමෙන්ම ඊට සමගාමීව යුරෝපීය මිණුම්දණ්ඩ වන උතුරු මුහුදේ ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල ද 1.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
ඒ අනුව එහි බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 113.44ක් ලෙසයි.
මේ අතර ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් හමුවේ බලශක්ති සැපයුම් මාර්ගවල පවතින අවහිරතා මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ තෙල් සැපයුම අඩාල විය හැකි බවට පවතින බිය නිසා ආයෝජකයින් මෙසේ ඉහළ මිල ගණන් යටතේ තෙල් මිලදී ගැනීමට පෙළඹී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ මෙම මිල උච්චාවචනයන් ඉදිරි දින කිහිපය තුළ සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල ද ඉන්ධන මිල කෙරෙහි බලපෑම් එල්ල කරන බවට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.