ගම්පොළට ජලයෙන් දැඩි බලපෑම් - පවුල් 500ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ
පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, පවුල් 500ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
අවතැන් වූ ජනතාව ගම්පොළ උඩපළාත සහ දොළුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව වාර්තා වේ.
මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පස්මිං සරීෆ් සහ මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් හදිසි ආපදා කමිටුව ඊයේ (03) රැස්විය.
ගම්පොළ ප්රදේශයේ බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල, නාවලපිටිය පාර, ලියෝනිස්, කුඩමාකේ, නාරන්විට සහ ඉඟුරුවත්ත ඇතුළු ප්රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති බව සඳහන් වේ.
අවතැන් වූ පවුල් සඳහා ගම්පොළ ගේට් පල්ලිය, කහටපිටිය පල්ලිය සහ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානයේ තාවකාලික නවාතැන්පොළ සකස් කර ඇති අතර, එම ස්ථාන වෙත ජනතාව යොමු කර තිබේ.
හදිසි තත්ත්වයක් තවදුරටත් ඇති වුවහොත් ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවද ආපදා කමිටුවේදී සාකච්ඡා කර ඇති අතර, ආපදා අවස්ථා සඳහා බෝට්ටු 6ක් ද සූදානම් කර ඇති බව වාර්තා වේ.