යතුරුපැදි ධාවකයන්ට සතුටු හිතෙන ආරංචියක් - යතුරුපැදි සඳහා විශේෂ මංතීරු හඳුන්වාදීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් (Motorcycle Lane) හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහනේ පළමු අදියර නැගෙනහිර පළාතේ කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, ප්‍රධාන මාර්ගයේ මීටර් 3.5ක පළලක් යතුරුපැදි සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත. අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වාර්ෂික රිය අනතුරු අතරින් විශාල ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන බැවින් ඒවා අවම කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වාදෙන බවයි.
මැලේසියාව වැනි රටවල යතුරුපැදි සඳහා වෙන්කළ මංතීරු හඳුන්වාදීමෙන් අනතුරු සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේද එවැනි ආරක්ෂිත මාර්ග පද්ධතියක් ක්‍රමානුකූලව ස්ථාපිත කරන බව පැවසීය.
මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ Hayleys Advantis Ltd. එක්ව ක්‍රියාත්මක කරන "100 for 100" ජාතික යතුරුපැදි ධාවන සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රධාන පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන අමතමිනි.
එම වැඩසටහන හරහා පෞද්ගලික ආයතන 100ක් සම්බන්ධ කර ගනිමින් යතුරුපැදි ධාවකයින් 10,000කට සුරක්ෂිත ධාවනය පිළිබඳ පුහුණුව සහ දැනුවත් කිරීම ලබාදීමට සැලසුම් කර තිබේ.
තවද, ඉදිරි මාර්ග ව්‍යාපෘති සැලසුම් කිරීමේදී යතුරුපැදි සඳහා වෙනම මංතීරු වෙන් කිරීම සහ ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමේ කටයුතුද සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.