ගාල්ල බන්ධනාගාරයේ ධාරිතාවය ඉක්මවයි - ලොකු ප්‍රශ්නයක්
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව මේ වන විට 2,050ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 300කට පමණක් ඉඩකඩ ඇති මෙම පරිශ්‍රය තුළ මෙතරම් පිරිසක් රඳවා තැබීම හේතුවෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලය ද දැඩි ගැටලු රැසකට මුහුණ දී සිටිති.
බන්ධනාගාර අධිකාරී කාර්යාලය පෙන්වා දෙන්නේ මේ අතර කාන්තා රැඳවියන් 110ක් පමණ සිටින බවත්, ධාරිතාව ඉක්මවා යාම නිසා රැඳවියන්ට අවශ්‍ය ජලය සහ මූලික සනීපාරක්ෂක පහසුකම් සැපයීම අතිශය දුෂ්කර වී ඇති බවත්ය.
වසර ගණනාවක සිට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මෙම තදබදය පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා වුවද මේ දක්වා ඊට ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැති අතර, බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යන බවට පසුගිය කාලය පුරාම විවිධ කතාබහට ලක්ව තිබුණි.
විශේෂයෙන්ම මීට වසර ගණනාවකට පෙර ඈෂ්ලි ඩිවොස් මහතා ඉදිරිපත් කළ නගර සංවර්ධන සැලැස්මේ පවා මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත් කිරීමට යෝජනා වී තිබුණද, දශක දෙකකටත් වඩා වැඩි කාලයක සිට පවතින මෙම ගැටලුව එලෙසම පවතී.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ මීට කඩිනම් විසඳුමක් ලබා දීමට රජය සූදානම් බවයි.
බූස්ස ප්‍රදේශයේ පවතින අක්කර හතක ඉඩමක නව බන්ධනාගාරය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉදිරි දින කිහිපය තුළ ගාල්ලට පැමිණ එම කටයුතු නිරීක්ෂණය කර විසඳුම් ලබා දෙන බව අධිකරණ අමාත්‍යවරයා තමන්ට දැනුම් දුන් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.