වසර 5ක් පුරා වැඩක් නොකර තියාගෙන හිටපු මහවැලි ඉඩම් සියල්ල රජයට පවරා ගනී

Report

නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අත්පත් කරගැනීම්, අනවසර ඉඩම් ගොඩකිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, නැගෙනහිර පළාතේ ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.

එම කමිටුවේ සභාපතිත්වය දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස්වරයකු මෙන්ම වර්තමාන දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් දරනු ලබන අතර, අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් ද එහි සාමාජිකයන් ලෙස එක්වීමට නියමිතය.

මේ අතර, දේශපාලන බලය හෝ හිතවත්කම් භාවිත කරමින් සිදුකරන අනවසර ඉඩම් අත්පත් කරගැනීම් සහ ගොඩකිරීම් වැළැක්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමටද තීරණය කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වසර 5කට හෝ ඊට පෙර වාණිජ අරමුණු සඳහා ලබාදී තිබුණද මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ ඉඩම් නැවත රජයට පවරා ගැනීමටද සැලසුම් කර තිබේ.

පවරාගන්නා ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී, ප්‍රදේශීය ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ භාවිත කිරීමට නියමිතය. නැගෙනහිර වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ද විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට රජය සැලසුම් කර ඇත.