ගුරු මාරු සහ පාසල් ප්‍රශ්නවලට අගමැතිනි හරිනිගෙන් ක්ෂණික තීන්දුවක්-ලේකම්වරු සහ නිලධාරීන් කැඳවා දුන් දැඩි නියෝගය මෙන්න
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ප්‍රාථමික පාසල් ඉදිකිරීම් සඳහා ප්‍රමිතිගත පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසල් පරිපාලනයේ ගැටලු, ගුරු මාරු ක්‍රියාවලියේ ගැටලු, පළාත් මට්ටමින් පාසල් ඉදිකිරීම් ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.
අදාළ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. එමෙන්ම මෙම අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.