ගාලු මහ නගර සභාවට දුන් රුපියල් මිලියන 25 ක් පුස් කාලා
ගාල්ල මහනගර සභාවේ නඩත්තු අංශය සඳහා පසුගිය අය-වැය මඟින් වෙන්කරනු ලැබූ රුපියල් මිලියන 25ක මුදලක් නඩත්තු කටයුතු සඳහා යොදා නොගෙන ඉතිරිව තිබේ.
මේ බව ගාල්ල මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රි බී.ඒ. ක්ලේමන්ට් මහතා පවසයි. ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයට අයත් මාර්ග, කානු පද්ධති, වීථි ලාම්පු ආදී නඩත්තු කටයුතු සඳහා මෙම මුදල වෙන්කොට තිබුණද නඩත්තු කටයුතු සඳහා එම මුදල් ප්‍රයෝජනයට ගෙන නොමැති බවද හෙතෙම පවසයි.
පසුගිය කාලය තුළ නාගරික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදී නොමැති බව සඳහන් කළ මන්ත්‍රිවරයා එම සේවාවන් පැහැරහැර ඇති බවද සඳහන් කළේය.
ගාල්ල මහනගර සභාව සඳහා ඉන්ජිනේරුවරයකු නොමැතිවීම විශාල ගැටලුවක් බවත් නඩත්තු කටයුතුවලදී ඇස්තමේන්තු සකස්කිරීමේදී නිලධාරීන් ගැටලු රැසකට ලක්ව ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.