ගල්කිස්ස වෙඩි තැබීමේ සුලමුල එළියට එයි..!
අද (07) අලුයම ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසකට අද අළුයම 4.25ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
පොලීසිය සැක පළ කරන්නේ, විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බඩෝවිට අසංක හා කොස්මල්ලි නැමැත්තන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවටයි.
මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි හෙළිවන්නේ.
වෙඩි තැබීමෙන් නිවස තුළ සිටි 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ නැමැත්තා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර චානක විමුක්ති හෙවත් සඳුන් නැමැති 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය ගොස් තිබුණි.
වෙඩි තැබීමෙන් අනතුරුව පලාගිය නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.අද උදෑසන ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා සිල්වා මහත්මිය විසින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබීය.
ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් පොලීසිය සැක පළකරන්නේ කොස්මල්ලි නැමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදුකර ඇතිබවටය.
පොලීසිය පවසන්නේ, ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකුගේ මිත්තණිය සහ සහෝදරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඊයේ (06) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පසුබිමක වෙඩි තැබීම සිදුව ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.
………………………………………………………………………………………
You may like this video 👇