සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්
ලබන සිකුරාදා වන විට තම ගැටලු විසඳා නොගතහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ටී.ජේ. රාජකරුණා මහතා සමඟ අද (2026 සැප්තැම්බර් 28) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්ධන බෙදා හැරීමේ ටැංකි රථ සඳහා අදාළ වන වත්මන් ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වන ලදී.
එම හමුවේදී, මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරුව වන විට විසඳුමක් ලබා දෙන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහතික විය.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
කෙසේ වෙතත්, සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වීමට තමන්ට සිදුවන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය හේතුවෙන් ටැංකි රථ නඩත්තුව සහ ඉන්ධන සම්බන්ධයෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.