රට පුරා තැන තැන වූ දරුණු අනතුරුවලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
බිංගිරිය පොලිස් වසමේ හමන්නාපහුව දළුපොත මාර්ගයේ ගුරුළුවෙල ප්රදේශයේදී මාරක අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව දළුපොත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ නාගොල්ලාගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එසේම මාතර තිස්සමහාරාම මාර්ගයේ දංදෙනිය ප්රදේශයේදී තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත.
ඒ මොරගොල්ලාගම ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වුණා.
මෙම අනතුර සම්බන්ධයෙන් ත්රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.
තවද කරෙයිනගර් කැරුම්කාලී වෙල් යාය මාර්ගයේ කරෙයිනගර් ප්රදේශයේදී ද සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙක් ද මිය ගොස් ඇත.
ඒ ඇරැව්ව හන්දිය දෙස සිට කලභූමී දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඒ පිළිබඳව කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්. ඊට අමතරව නෙදුන්කේනි ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ පන්ඩාරිකුලම් ප්රදේශයේදී ඔඩ්ඩුසුඩාන් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී පෙරළී ගොස් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් වී තිබෙනවා.
මෙම අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කළත් ඉන්පසු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ නෙදුන්කේනි ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය ප්රකාශ කළේ පසුපැදිකාරිය වැඩිදුර ප්රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරු කර යවා ඇති බවයි.