පාසල් දරුවන්ට කෑම දෙන්න පාසලෙන් අලුත්ම වැඩක් - හැකිනම් බත් බැංකුවට ඔබත් සහයවන්න..

By Sewvandhi Sep 22, 2022 03:56 PM GMT
Report

ආහාර නොමැතිවීම හේතුවෙන් කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් සියයට 25ක් පමණ දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. ආහාරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හමුවේ ආහාර මිලදීගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ජනතාව ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ආහාර තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී දක්නට ලැබෙන්නේ සැබවින්ම ශෝචනීය තත්ත්වයකි. ‍මෙවන් තත්ත්වයක් තුළ පාසල් පැමිණෙන දරුවන් බොහෝමයක් උදෑසන රැස්වීමේදී ක්ලාන්තවී ඇදවැටෙන බව අනුරාධපුරයේ තන්තිරිමලේ පාසල් කිහිපයකින්ම වාර්තා වෙයි. අනුරාධපුර ආපනශාලා හිමියන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පාසල් ළමුන් ආහාර මිලදී නොගැනීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසක ආපනශාලා වැසීයමින් පවතින බවය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නමඩගස්වැව ජාතික පාසලේ බත් බැංකුවක් පවත්වාගෙන යෑමට ගුරු මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව ගුරුවරු පාසලට පැමිණෙන විට වැඩිපුර කෑම පාර්සලක් රැගෙන විත් එය බත් බැංකුවට ලබාදෙන අතර ආහාර නැති ළමුන් ඉන් ආහාර රැගෙන සිය ආහාර වේල සපුරා ගනු ලබයි.

මේ අතර පාසලට පැමිණෙන විට දිවා ආහාරය රැගෙන නොඑන සිසුන් සිටින කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 12ක් තෝරාගෙන එම සිසුන්ට දිවා ආහාරය සැකසීම වෙනුවෙන් වියළි ආහාර සලාක ලබාදීම කැලණිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අද සිදුවුණි.

එම ආහාර සලාක එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබාදුන් අතර ඒවා විදුහලේදී පිළියෙළ කර පාසල් ළමුන්ට ලබාදීමට නියමිතය. ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩපිළිවෙලක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර තිබුණි. ඒ මව්පියන් මෙන්ම සමාජ සුබසාධන සංගම්වලද දායකත්වයෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now