මිග්ග්‍රේන් වළක්වා ගැනීමට දෛනිකව අනුගමනය කළ හැකි පුරුදු පහක්
නිරෝගීව සිටීමට අප සියලු දෙනා කැමතිය. එහෙත් අද වන විට පවතින තරගකාරී සමාජයත් සමග අපට එදිනෙදා හමුවන බොහෝ දෙනෙකු පිඩාවට පත්ව සිටින රෝගයක් වන්නේ හිසරදරයයි.
'හිසරදය' සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි රෝගයක් වුවත්, ඇතැම් පුද්ගලයින්ට සෑදෙන මිග්‍රේන් නොහොත් 'ඉරුවාරදය' නමැති රෝගී තත්ත්වයෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවකට පත්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ලෝකයේ බිලියනයකට අධික ජනතාවකට බලපාන රෝගී තත්ත්වයක් ලෙස 'මිග්‍රේන්' නොහොත් 'ඉරුවාරදය' හඳුනා ගෙන ඇති බව ය.
මිග්ග්‍රේන් වළක්වා ගැනීමට දෛනිකව අනුගමනය කළ හැකි පුරුදු

01. දෛනිකව හොඳ නින්දක් ලබා ගැනීම
ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න සඳහන් කළේ අද සමාජයේ බොහෝ දෙනා ප්‍රමාණවත් ආකාරයෙන් නින්දක් නොලැබීම මිග්‍රේන් රෝගී තත්ත්වයට හේතුවක් වන බැවින් පුද්ගලයෙකු අවම වශයෙන් පැය 08ක නින්දක් ලබා ගත යුතු බව යි.
"ගොඩක් අය රෑ 1-2 වෙනකම් ඇහැරගෙන ඉන්නවා. මේක සෞඛ්‍යට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා දිනපතා පැය 08ක් වගේ නින්දක් ලබන එක හොඳයි. විශේෂයෙන් මිග්‍රේන් රෝගී තත්ත්වය තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම පැය 08ක කාලයක් නිදා ගැනීම ඉතා ම වැදගත්." ඇය කියා සිටියාය.

02. හොඳින් ජලය පානය කරන්න
ශරීරය විජලන තත්ත්වයට පත්වීම තුළින් ද මිග්‍රේන් තත්ත්වය ඇතිවන බැවින් හැකි තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු හොඳ සෞඛ්‍ය පුරුද්දක් බව විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

03. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්
උදෑසන ආහාර වේල මග හැරීම මිග්‍රේන් රෝගයෙන් පීඩා විදින පුද්ගලයෙකු සිදුනොකළ යුතු දෙයක් බව ද ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න සඳහන් කළාය.
"මිග්‍රේන් තියෙන අය නොකළ යුතු ම දෙයක් තමයි උදේ ආහාර වේල නොගෙන ඉන්න එක. මොකද උදේ ආහාරය අර ගත්තේ නැති වුනා ම මිග්‍රේන් රෝගී තත්ත්වය ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න පුරුදු වෙන එක ඉතා ම වැදගත්." ඇය පැවසුවාය.

04. ආතතියට පත්වෙන එක අඩු කරන්න
කාර්යබහුල වටපිටාව සමග බොහෝ දෙනෙකු ආතතියට පත්වන බව ත්, මිග්‍රේන් රෝගී තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයින් සිය මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
"ඔෆිස් එකේ වැඩ නිසා වෙන්න පුළුවන්, ගෙදර වැඩ නිසා වෙන්න පුළුවන්. අද ගොඩක් දෙනා කාර්යබහුලයි. මේ නිසා හෙට දවස ගැන කලින් ඉඳලම සැලසුම් කරලා තියෙන එක වැදගත්. මොකද ගොඩක් දෙනෙක් හිතේ එක එක දේවල් ගැන ප්ලෑන් කරනවා, හැබැයි ඒක කරන්න වෙලාවක් හොයා ගන්න බැහැ ඒ දවසට තියෙන වැඩ එක්ක. එතකොට ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුනා ම මිග්ග්‍රේන් තත්ත්වයට එනවා. මේ නිසයි වෛද්‍යවරුන් කියන්නේ දවසේ වැඩ ගැන කල් තියලා සැලසුම් කළා ම ඔය තත්ත්වය නැහැ. ඊට අමතරව ස්ට්‍රෙස් ලෙවල් එක මේන්ටේන් කරන්න පුළුවන් දේවල් වලට යොමු වෙන්න. ව්‍යායාම් කරන එකත් හොද දෙයක්." ඇය පැහැදිළි කළාය.

05. කැෆේන් අඩංගු පාන බොන්න එපා. චීස්, චොක්ලට් කන්න එපා.
මිග්‍රේන් රෝගයට මුහුණ දෙන පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයට හේතුවන ආහාර පාන වර්ග වලින් වැළකී සිටීමට පුරුදු විය යුතු බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
"උදාහරණයක් විදිහට කැෆේන් අඩංගු පාන වර්ග, චීස්, චොක්ලට්, පිටි සහ තෙල් අධික ආහාර වලින් සම්පුර්ණයෙන්ම ඈත් වෙන එක හොදයි" වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන්ම ඇය පෙන්වා දුන්නේ මිග්‍රේන් තත්ත්වයට මුහුණ දෙන රෝගීන් තමන්ට දෛනිකව එම තත්ත්වයෙන් වැළකී සිටීමට යැයි පවසා වෛද්‍යවරුන් නිර්දේශ කරන වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමට පෙළඹීම සිදුනොකළ යුතු දෙයක් බව යි.
දිගින් දිගට ම එම ඖෂධ භාවිත කිරීම නිසා පසු කලක එම ඖෂධ රෝගියාට ප්‍රතිචාර නොදැක්වීමට ඇති ඉඩකඩ වැඩි බව විශේෂඥ ස්නායු වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පවසයි.