බිහිසුණු අනතුරක් පුද්ගලයෙක් මරුට
කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ කොච්චිකඩේ නගර සීමාවේදී ඊයේ (22) රාත්‍රී 10:00 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරකු ජීවිතක්ෂයට පත් වුණු බව කොච්චිකඩේ පොලිසිය වාර්තා කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොච්චිකඩේ, මානවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙක් වන අතර මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම දෙස සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ සිමෙන්ති පටවන ලද ප්‍රයිමෝර් රථයක් සහ අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්ය.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ප්‍රයිමෝර් රථය අධික වේගයකින් පැමිණෙමින් තිබී ඇති අතර ත්‍රිරෝද රථය හදිසියේම ප්‍රධාන මාර්ගයට පිවිසීම හේතුවෙන් රියදුරුට ප්‍රයිමෝර් රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත.
ප්‍රයිමෝර් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථය මාර්ගය මත පෙරළී ගොස් ඇති අතර, එහි රියදුරා ප්‍රයිමෝර් රථයට යටවී දරුණු ලෙස තුවාල ලබා ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කොච්චිකඩේ පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියදුරාට අමතරව තවත් දෙදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුවී නැති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොච්චිකඩේ පොලිසිය, අනතුරට හේතුව වූ ප්‍රයිමෝර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (23) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුර සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරවිල මූලික රෝහලේ තැන්පත් කර ඇත.