අම්බලන්ඔය ජලාශයේ සොරොව්ව කැඩිලා ගොවීන් අසරණ වෙයි
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බලන්ඔය ජලාශයේ සොරොව්ව බිඳී යාමෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අසීරුතාවකට මුහුණ දී ඇත.
මෙම සොරොව්ව කැඩී ගොස් මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇති අතර, එය තවමත් ප්‍රතිසංස්කරණය කර නොමැති බව ගම්වැසියන් සඳහන් කරයි.
බිඳී ගිය ස්ථානයෙන් අඛණ්ඩව ජලය පිටවීම හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවක් ජලයෙන් යටවී විනාශ වෙමින් පවතින අතර, ගොවීන්ගේ ආදායමටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එමෙන්ම ජලාශයේ වාරි පද්ධතියේ ඉවුරුද කැඩී යාමේ අවදානමක් පවතින බවට ගොවීන් සඳහන් කරති.
එමෙන්ම ඉදිරියේදී වර්ෂාව වැඩි වුවහොත් තත්ත්වය තවත් දරුණු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. එසේම, මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරි යල කන්නය සඳහා වැවෙහි අවශ්‍ය ජල ධාරිතාව රඳවා ගැනීමට නොහැකි වන බවද ගොවීන් මැසිවිලි නගති.
ඒ අනුව, ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදී ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් හා ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.