මහ කන්නයේ ගොවීගේ බලාපොරොත්තු පොහොර නැතිව බොඳවී යයි..ගොවීන් 50%කට සිදුවූ දේ මෙන්න..

Advanced Agri Farmers Mission Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Jan 03, 2024 05:13 AM GMT
Aruna

Aruna

Report

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට අවසන් වී තිබෙනවා.

මේනිසා ඒ සඳහා තවත් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම මුදල් ලැබුණු වහා ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ.

දැනට ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කර ඇති මුදල රුපියල් මිලියන 5000 ක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව ගොවීන් 583,372 කට එම මුදල් නිකුත් කර ඇති බවයි, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ලක්ෂ දහයකට අධික මහ කන්නය වගා කළ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට රුපියල් බිලියන 11 ක් පමණ වැය වන බව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මහ කන්නය ආරම්භ කර මේ වනවිට මාස එකහාමාරකට අධික වන අතර, ඇතැම් ගොවීන්ගේ කුඹුරු වල අසවැන්න නෙළීමට ද සූදානම්ව සිටින බවයි විවිධ ප්‍රදේශ වල ගොවීන් පවසන්නේ.

ඊට හේතුව නම් මහකන්නය ආරම්භ වීමටත් පෙර වර්ෂාපතනය ලැබීම නිසා බොහෝ ගොවීන් තම කුඹුරු ඉඩම් වැපිරීම නිසයි.

එවන් තත්ත්වයක් තුළ පොහොර නොලැබුණ ගොවීන් ණයවී පොහොර ලබාගෙන තම වගාවන්ට යොදවා ඇති අතර, එම ගොවීන්ට මේවන විට ණය පවා ගෙවා ගැනීමට නොහැකිව අසරණවී සිටින බවද වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් පැවසුවේ, පොහොර මිලදී ගැනීම සඳහා තමන්ට රජයෙන් මුදල් මෙතෙක් හිමි නොවූ බවත් ඒ හේතුවෙන් තම පවුල් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යතුමනි, ජනතාවගේ මෙම දුක් අදෝනා ගැන සොයා බලා නිසි කළට, නිසි වෙලාවට ගොවීන්ට අවශ්‍ය පොහොර හෝ එම පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කරන්න.

දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්නට එසේ නොකර විදෙස් රට වලට දතනියවීමට බලා සිටීම පෙරදිග භාණ්ඩාගාරය නම් වූ ඉතිහාසයට කරන තවත් නිගාවක් නොවන්නේද.

                                                                                              Sponsored By Sarrita Jewellery