අත්අඩංගුවට ගත් හානිපූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඇප
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන් කුමාරි මහත්මිය ඇප මත මුදා හරින මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව අඳාළ නියෝගය අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් නිකුත් කළා.
එසේම සැකකාරියට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කර තිබෙනවා.
තවද සැකකාරියට හානිපූර්ණ කාර්යාලය කටයුතුවලට සම්බන්ධ නොවන මෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර සැකකාරිය හානිපූර්ණ කාර්යාලය කටයුතුවලට යෙදවීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යංශය ලේකම්ට ද නියම කර ඇත.
මේ අතර මහේස්ත්‍රත්වරයා සඳහන් කළේ සැකකාරිය දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වීම සහ ඇය මෙම සිද්ධිය ඔස්සේ මූල්‍ය වාසියක් ලබා නොගැනීම යනාදී කාරණා සුවිශේෂි කරුණු ලෙස සැලකිල්ලට ගනිමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි.
කෙසේ වෙතත් පැමිණිල්ල මේ මස 14 වන දින කැඳවීමට ද නියම කර ඇති බව සඳහන්.
අඳාළ සැකකාරිය මෙසේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමෙන් පසුව ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ 88ක (8,850,000) මුදලක් ගෙවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන්.