සොසේජස් සහ බර්ගර් වලට වෙන්න යන දේ
මාංශ වෙනුවට විකල්ප වශයෙන් ශාක පදනම් වූ නිෂ්පාදන යොදාගැනීමේදී "සොසේජස්"සහ "බර්ගර්" වැනි ලේබල් භාවිත කිරීම තහනම් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් හටගෙන ඇත.
ඒ නිසා මාංශ නිෂ්පාදන කර්මාන්තය සහ විකල්ප ආහාර අංශය අතර ගැටුම නැවත ඇවිලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අඳාළ යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා මන්ත්‍රීවරුන් අද දින ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන් වුණා.
එසේම මෙම ලේබල් කිරීමේ තහනම සම්මත වුවහොත්, "බර්ගර්" සහ "සොසේජස්" ඇතුළු දිගු ලේබල් ලැයිස්තුවක් මාංශ අඩංගු ආහාරවලට පමණක් වෙන්කිරීමට නියමිත වේ.
මේ අතර මෑතක සිට යුරෝපීයයන් බහුතරය නිර්මාංශ සහ වීගන් ආහාරවලට යොමු වී සිටින බව ද වාර්තා වේ.
එයට හේතුව පශු සම්පත් ගොවිපළවල්වලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන අර්බුදය සම්බන්ධයෙන් කලක සිට පැවති කතිකාවත බව පවසයි.
එසේ වුවද මාංශ අනුකරණය කරමින් ශාක පදනම් වූ ආහාර නිෂ්පාදනය, යුරෝපයේ බොහෝ පශු සම්පත් ගොවීන් සහ ඔවුන් නියෝජනය කරන දේශපාලඥයින් තමන්ට තර්ජනයක් ලෙස දකින බව සඳහන්.
මේ අතර දක්ෂිණාංශික යුරෝපා මන්ත්‍රීවරියක් වන සෙලින් ඉමාර්ට් මෙම මාංශ නොවන නිෂ්පාදන සඳහා තහනම ඇතිකිරීමේ යෝජනාවේ ප්‍රධාන පාර්ශ්වය වන අතර ඇය "ඒවා සොසේජස් වත්, ස්ටීක්වත් නෙවෙයි. පැහැදිලියි සරලයි.අපි ඇත්තටම ඇත්ත කියමු"ලෙස තර්ක කරයි.
එසේම "ඒවා මාංශ යැයි හැඳින්වීම පාරිභෝගිකයා නොමඟ යැවීමක්" ලෙසද කියයි.
ඇය මෙම නව යෝජනාව, "කිරි" (milk) සිට "යෝගට්" (yogurt) සහ "චීස්" (cheese) දක්වා සාම්ප්‍රදායික කිරි නිෂ්පාදන යෙදුම් භාවිතය දැනටමත් සීමා කර ඇති යුරෝපීය නීතිවලට අනුකූල බව පවසයි. ඒ අනුව "මාංශ සඳහා ද එසේ කිරීම සාධාරණයි" යන්න ඇගේ තර්කය වේ.
තවද මෙම යෝජනාවට විරුද්ධ කණ්ඩායම් අනතුරු අඟවන්නේ, ශාක පදනම් වූ විකල්ප මාංශ නිෂ්පාදනවලට යුරෝපයේ විශාලතම වෙළඳපොළ වන ජර්මනියට, මෙම තහනම ආර්ථික ලෙස විශේෂයෙන් බලපානු ඇති බවයි.
කෙසේ වුවද මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට තව බොහෝ දුරක් ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව එයට පිටුබලය දුන්නද, එය යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සමඟ සාකච්ඡා කළ යුතු බව වාර්තා වේ.
එමෙන්ම ප්‍රංශය 2024 දී ද මෙයට සමාන ලේබල් තහනමක් සම්මත කළද, යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයේ තීන්දුවකට අනුව පසු වසරේ ජනවාරි මාසයේදී එය අවලංගු කර ඇත.