කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට අනුමැතිය..ඉහළ ගිය මිල ගනන් මෙන්න..

gas milk powder cement lasantha alagiyavanna manufacture rice
By Sithumi Sep 24, 2021 02:15 PM GMT
Sithumi

Sithumi

Report

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි. එමෙන්ම, සහල් මිල සහ ළඳරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

කමිටුව නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් ඉහළ දැමීමටයි. ගෑස් මිල රුපියල් 550කින් වැඩි කළ යුතු බවට ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ ලබන සඳුදා රැස්වන අමාත්‍ය මණ්ඩලය විසින්.

බදු සහන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විමසා බලනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා. ජිවන වියදම් කමිටුව අද අනුමත කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145ක් වනවා.

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050ක් පමණ වනු ඇති. කෙසේ වෙතත්, රුපියල් 200ක මිල වැඩිවීමක් යටතේ වෙළඳපොලට කිරිපිටි සාමාන්‍ය සැපයුමක් සිදුකළ නොහැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ රුපියල් අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය අනුව රුපියල් 350ක වත් මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.

මේ අතර, වරාය තුල රඳවා ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද පැවති ජිවන වියදම් කමිටු රැස්වීමේදී නියෝග කර තිබෙනවා.

එසේ නිදහස් කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස හා අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha