හෙරොයින් කිලෝ 3ක් සමඟ ජාවාරම්කරුවෙක් සහ තායිලන්ත ජාතිකයෙක් රිමාන්ඩ්
මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 සහ මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබා ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දේශීය ජාවාරම්කරුවෙකු සහ තායිලන්ත ජාතිකයෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා, කිරිබත්ගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචි දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා බව අනාවරණය වේ.
පසුගිය 03 වැනිදා පාදිලියාතුඩුව මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් මත්කුඩු අලෙවි කළ දේශීය ජාවාරම්කරු කැලණිය කොට්ඨාස අපරාධ මර්දන විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය පවසන පරිදි ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මත්කුඩු තොගය ලබාදුන් තායිලන්ත ජාතිකයා සීදුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අධිකරණ නියෝග මත රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කරන ලදී. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කිරිබත්ගොඩ පොලිසිය වෙත භාර දුන් බව වාර්තා වේ.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්නගේ උපදෙස් අනුව, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් රත්නායක (90071), කුලසිංහ (10789) සහ අලුත්ගේ (100478) විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.