ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම බලාත්මක කෙරේ
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකාව පුරවැසියන් මුහුණ දී සිටි රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, ඉතාලිය සමඟ ඇති කරගත් රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම මෙම මාසයේ සිට බලාත්මක වී තිබේ.
මෙම ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කළ දිගු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්සන් තැබූ අතර, ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතුද සාර්ථකව අවසන් කර ඇත.
මෙම නව ගිවිසුම යටතේ, ඉතාලියේ වසර 6ක් හෝ ඊට වැඩි කාලයක් පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලිඛිත හෝ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණවලට පෙනී සිටීමකින් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් ලෙස පරිවර්තනය කර ගැනීමට අවස්ථාව හිමි වේ.
ඉතාලියේ වෙසෙන හා සේවය කරන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම පහසුකම ඉතා ඉහළින් අගය කර ඇති අතර, එය ඔවුන්ගේ රැකියා අවස්ථා වර්ධනයට මෙන්ම අනාගත වෘත්තීය සම්භාවිතාවන් පුළුල් කිරීමටද මහත් දායකත්වයක් ලබා දෙනු ඇති බව සඳහන් වේ.