ලක්ෂ 06කගේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්..
ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා නියමයන් සඳහන් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඉල්ලුම්කරුගේ ආබාධිත තත්ත්වය යටතේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළව වෛද්‍ය නිර්දේශය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් එම අයැදුම්කරු තාක්ෂණික කමිටුවකට යොමු කළ යුතු බවයි එහි සඳහන්ව ඇත්තේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර මෝටර් රථ කොමසාරිස්වරයෙක්, ජ්‍යෙෂ්ඨ මෝටර් වාහන පරීක්ෂකවරයෙක් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් නම් කරනු ලබන වෛද්‍යවරයෙක් මෙම තාක්ෂණික කමිටුවට අයත් වෙයි.
මේ අනුව නව කමිටුව මගින් විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධ තත්වයන් හඳුනාගෙන ඔවුන් සඳහා සුදුසු පරිදි රිය බලපත්‍ර ලබාගැනීමට අදාළ නිර්දේශ සිදුකරනු ලබයි.
මෙම කමිටුව සෑම මසකම සිකුරාදාවන්හිදී රැස්වේ.
අදාල චක්‍ර ලේඛයේ සඳහන්ව ඇත්තේ, ආබාධ සහිත අයැදුම්කරුවන් සිය ඉල්ලුම්පතට අමතරව රියැදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන හා වෛද්‍ය වාර්තා ද එම කමිටුවට ඉදිරිපත් කළ යුතු බවයි.
මෙම ක්‍රියාවලිය තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් අදාළ අයැදුම්කරුට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ද මෙම චක්‍රලේඛයෙන් විධිවිධාන සලසා ඇත.
රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආබාධිත පුද්ගලයන් ලක්ෂ හයක් පමණ සිටින බව මේ වන විට හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී වරින් වර අදහස් පළ කළ අතර ඒ හේතුවෙන් ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට ඇති බාධා හඳුනාගැනීමට මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.
ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ පවතින නීතිමය තත්ත්වය ද සොයා බැලූ මන්ත්‍රීවරයා ඊට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයාට ලබා දුන්නේය.
ඉහත චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ ඒ අනුව බවයි පැවසෙන්නේ.