අපරාධ රැසක් මෙහෙය වූ කෙසෙල්වත්ත දිනූෂට දින 90 ක රැඳවුම් නියෝග
ඉන්දියාවේ චෙන්නායි නුවර කොච්චි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ “කෙසෙල්වත්තේ දිනුෂ” නම් සංවිධානාත්මක අපරාධකරුවාට (හේවා පේඩිගේ දිනූෂ චතුරංග) කෙසෙල්වත්ත පොලිසිය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත දින 90ක රැඳවුම් නියෝග ලබා ඇත.
මෙම නියෝග, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවා ඉදිරිපත් කර අවසර ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක විය. සැකකරුවාට එරෙහි ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති අතර, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට විභාග වන නඩුවකට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවා 2023 වර්ෂයේදී වෙනත් පුද්ගලයකුගේ නමින් සකසා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් රුපියල් ලක්ෂයක මුදලකට කාමරයක් ලබාගෙන නවාතැන් ගෙන සිටි බවයි. 2020 වසරේ සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අතේ වැලමිට අසල යකඩ තහඩුවක් දැමූ ශල්‍ය ක්‍රියාවක් සිදු කර ඇති අතර, ඊට පසුව ඩුබායි සිට ඉන්දියාවට පැමිණ ශල්‍ය කර්මයෙන් යකඩ තහඩුව ඉවත් කර ඇත.
සැකකරුවාට එරෙහිව, 2015.01.15 දින මන්නා පිහිවලින් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2018.03.08 දින ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනාට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසකට චෝදනා යටතේ විමර්ශන සිදු කර ඇත.
කෙසෙල්වත්ත පොලිසිය පවසන පරිදි, මෙම සැකකරුවා සංවිධානාත්මක අපරාධ සඳහා අවශ්‍ය සැලසුම් සිදු කරමින් සිටි බවට තහවුරු වී ඇත.