චන්දිමාල් අනාගතය ගැන සිතයි – ක්‍රිකට් ආයතනයට ලිපියක්

cricket Dinesh chandimal
By Sithumi Jul 15, 2021 04:02 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තම ක්‍රිකට් දිවියේ ආනාගතය කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්‍ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත එම ලිපිය යොමුකර ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් සහ සීමිත ඕවර තරග සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය සුදුසුකම් තමාට ඇති බව චන්දිමාල් විසින් එම ලිපියෙන් පෙන්වාදී ඇත.

“මගේ ලකුණු රැස්කිරීමේ සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගිය විට, සෞඛ්‍යය හා ශරීර යෝග්‍යතාවය පිළිබඳ මගේ කැපවීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මගේ ගරුත්වය ඉහළම මට්ටමක පවතිනවා. මම සෑම විටම කැපී පෙනෙන කණ්ඩායම් කුසලතා පෙන්නුම් කර තිබෙනවා.

මගේ වෘත්තීය ජීවිතය තුළ, මම ගත් සෑම තීරණයක්ම සෑම විටම මගේ රට සහ කණ්ඩායමට මුල් තැන දී ගෙන ඇති අතර සමහර විට එය මට පෞද්ගලිකව දරුණු ප්‍රතිවිපාක ගෙනදී තිබෙනවා” යැයි චන්දිමාල් සිය ලිපියේ සඳහන් කර තිබේ. 

 පසුගිය වසර කිහිපය තුළ තමාව කණ්ඩායමට තෝරා ගැනීමේ තාවකාලික ස්වභාවය තමාට දැඩි ආතතියක් ගෙනදී ඇති බවත් පසුව එය තමාගේ දක්ෂතා වලටත් බලපා ඇති බව 31 හැවිරිදි චන්දිමාල් පවසා ඇත. ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලන දිනාගත් 2014 වසරේදී කණ්ඩායමේ නායකයා වූයේද චන්දිමාල්ය. 

එහෙත් තරගාවලිය අතරමැදදී පිතිකරුවකු ලෙසින් අසාර්ථක වීම හේතුවෙන් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කරන ලද අතර ලසිත් මාලිංග තාවකාලික නායකයා විය. “හිටපු ක්‍රීඩකයන් හැටියට තේරීම් වලදී තිබිය යුතු අඛණ්ඩතාව ගැන ඔබලා දන්නවා ඇති. ඒ වගේම ක්‍රීඩකයන් කෙරේ තේරීම් කමිටු නිලධාරීන් තබා ඇති විශ්වාසය ඔවුන් පිට්ටනියේදි දක්වන දස්කම් වලට විශාල බලපෑමක්ද වෙයි” යැයි චන්දිමාල් පෙන්වා දී ඇත. 

සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් යන හිටපු ක්‍රීඩකයන්ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ වෘත්තීය ක්‍රිකට් ජිවිතයේ සංඛ්‍යාලේඛන ද ඉස්මතු කර දක්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෘත්තීය සංඛ්‍යාලේඛන පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ශ්‍රේෂ්ඨයන් වැඩි දස්කම් පෙන්නුම් කර ඇත්තේ වෘත්තීය දිවියේ දෙවන භාගයේදී බව චන්දිමාල් පවසා ඇත. එමෙන්ම එම පුද්ගලයින්ට තමා පිළිබඳව මේ මොහොතේ ඇති වටිනාමක නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබේ. “මගේ නිගමනය නම්, කලින් සඳහන් කළ පරිදි, මගේ වයස අවුරුදු 31 යි. නමුත් මගේ වයස දක්ෂතා දැක්වීම සඳහා සාධකයක් නෙවේ. මගේ කාර්යසාධන සංඛ්‍යාලේඛන සහ මගේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ මට මේ මොහොතේ ඉහළම මට්ටමේ දස්කම් දැක්වීමට හැකියාව තියෙනවා” යැයි චන්දිමාල් වැඩිදුරටත් පවසා ඇත.

තම අනාගතය ගැන තීරණයක් ගැනීමට පෙර අරවින්ද ද සිල්වා සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස චන්දිමාල් තවදුරටත් ඉල්ලා තිබේ. “මම මගේ අනාගතය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට කැමැතියි. මෙය මගේ වෘත්තිය බැවින්, මේ අවස්ථාවේ දී මගේ අනාගතය සඳහා නිවැරදි හා වඩාත්ම සුදුසු තීරණක් ගැනීමට එය මට ඉතා වැදගත් වෙනවා” යයිද චන්දිමාල් සිය ලිපියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ

ReeCha