ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් - මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අනතුරු අඟවයි
ඩෙංගු රෝගය පාලනය සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි.
ඒ වගේම ඉදිරිමාස වලදී පවතින මෝසම් වැසි හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අනතුරු අඟවනවා. ඒ සම්බන්දව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා තව දුරටත් සදහන් කළේ මෙවැනි අදහසක්
''සෑම වසරකම මෝසම් වර්ෂා කාලය තුළ ඩෙංගු රෝගයේ වැඩිවීමක් දකින්න පුළුවන්. දැනට මේ ආරම්භ වී තියන වර්ෂාව හේතුවෙන් දෙසැම්බර්,නොවැම්බර් කාල වල ඩෙංගු රෝගයේ වැඩි වීමක් අපේක්ෂා කරනවා. එම නිසා සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඩෙංගු රෝගය පාලනය සදහා ඔබගේ නිවෙස් හා ආයතන අවට තිබෙන මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර සහයෝගය දක්වන්න.වර්ෂාව නිසා වතුර එකතු වෙන තැන් තියනවනම් විශේෂයෙන් මිනිස් ක්‍රියාකරකම් නිසා ඉවත දමන කැළි කසල ,ටින් ,කෝම්බ ආදිය තියනවනම් ඒව ඉවත් කර මදුරුවන් බෝවන තැන් තියනවනම් පිළිසකර කරන්න."
සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට මෙම ඩෙංගු මර්ධනය තනියම කරන්න පුළුවන් දෙයක් නෙමේ.යම් නීතිමය ක්‍රියාමර්ගත් ගන්න සිද්ධ වෙනවා ජනතාවගේ නොසැළකිල්ල නිසා මදුරුවන් බෝවන තැන් හමු වුණොත්. නමුත් මේ සියළු කාර්‍යන් සිදුකිරීමට උග්‍ර නිළධාරී හිගයක් දිවයින පුරාම තියනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඌනතාව සම්පූර්ණ කර දෙන ලෙස. ''
