30 හැවිරිදි තරුණියකගේ සිරුරක් කඩ කාමරයක් තුළින් හමුවෙයි..
දොම්පේ පොලිස් වසමේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙන පුවතක් වාර්තා වනවා.
ඊයේ (14) දහවල් කාලයේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 30ක් පමණ වන කාන්තාවක් බවත්, ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.
ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුළියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් එම කඩ කාමරය මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වනදා රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සඳහා ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ, පසුදින පරීක්ෂා කිරීමේදී නවාතැන් ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ මියගොස් සිට ඇති බව කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බවයි.
එමෙන්ම සිද්ධියෙන් පසු කාන්තාව සමග පැමිණි පුද්ගලයා අතුරුදන්වී තිබෙන අතර, සිද්ධිය සම්බන්ධව දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෘතශරීරය මේ වන විට ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.
