මාතර තිහගොඩ සිද්ධියේ නවතම තොරතුරක් එළියට
මාතර තිහගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම උප පොලිස් පරීක්ෂකවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන හතර වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිහගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 57ක් වන උප පොලිස් පරීක්ෂකවරයෙක්.
මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සිසුන් කිහිපදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් අදාල සිසුවා තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ. තුවාල ලැබූ තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වන එම පාසල් සිසුවාගේ හිසට වෙඩි වැදී තිබෙනවා.
ඔහුගේ හිස ශෛල්‍යකර්මයකට ලක් කළ බවත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස් පී යූ එම් රංග නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේවනවිට වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද පාසල් සිසුවාට වෙඩි වැදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා