සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2025 වසරේ පළමු මාස අට තුළ එහි ඉන්ධන පිරවුම්හල් ජාලය හරහා රුපියල් බිලියන 10.7ක (රුපියල් කෝටි 1,070) ලාභයක් ලබා ඇති බව එහි සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (25) පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙමටගොඩ CPC මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
සංස්ථාව මෙම කාලය තුළ මුළු ලාභය රුපියල් බිලියන 22.13ක් (රුපියල් කෝටි 2,213) ලබා ඇති අතර, ඉන් සියයට 47-50 අතර ප්‍රමාණය ඉන්ධන මිල වැඩිකිරීමෙන් ලබාගත් ලාභයන් නොවන බව සභාපතිවරයා සඳහන් කළා. මෙම ලාභයෙන් රුපියල් මිලියන 500ක් පසුගියදා ආණ්ඩුවට ලබාදුන් බවත්, නිවැරදි මූල්‍ය පාලනය මෙම විශාල ලාභයට ප්‍රධාන හේතුව බවත් රාජකරුණා මහතා පැවසුවා.
ගුවන් යානා ඉන්ධන අළෙවියෙන් රුපියල් මිලියන 4,107ක ලාභයක් මෙම මාස අට තුළ ලබා ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව ගුවන් යානා ඉන්ධන අළෙවිය මීටර මිලියන 32.6කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන ගැනීමට පමණක් මෙරටට පැමිණි ගුවන් යානාවලට ලීටර මිලියන 2.7ක ඉන්ධන අළෙවි වර්ධනයක් වාර්තා වී ඇති බවත්, සිංගප්පූරුවේ සහ ඩුබායිහි ගුවන් යානා ඉන්ධන මිලට ගැළපෙන තරගකාරී මිලක් ඉදිරිපත් කිරීම මගින් මෙම වර්ධනය ළඟාකර ගත් බවත් සභාපතිවරයා පැවසුවා.
ලිහිසි තෙල් අළෙවිය සියයට 40කින් ඉහළ ගොස් ඇති අතර, එමගින් රුපියල් මිලියන 209ක ලාභයක් ලබා ඇති බවත්, වර්තමාන පරිපාලනය භාරගන්නා විට ලීටර 70,000ක්ව පැවති ලිහිසි තෙල් අළෙවිය මීටර ලක්ෂ 4 දක්වා ඉහළ නැංවීමට හැකිවූ බවත් රාජකරුණා මහතා සඳහන් කළා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 100ක පමණ සංචිතයක් එදිනෙදා නැව් කටයුතු සඳහා පවත්වාගෙන යන අතර, සියලුම සංවර්ධන කටයුතු සඳහා එහිම මුදල් වියදම් කරන බව සභාපතිවරයා පැවසුවා. ඛනිජ තෙල් ක්ෂේත්රයේ දියුණුව සඳහා තෙල් ටැංකි ස්ථාපනය, බෙදුම්කරුවන්, ඉන්ධන ඇනවුම් සහ ටෙන්ඩර් ක්‍රමවේදය ඩිජිටල්කරණය, ඉන්ධන ප්‍රවාහන නළ පද්ධති සංවර්ධනය, සහ සේවක පුහුණුව ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ද සහභාගි වුණා.