අලුත් අවුරුද්දට ගමේ යන්න බලන් ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් අදියර දෙකක් යටතේ ආරම්භ කර තිබේ. එම මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සඳහන් කළේ කොළඹ සිට දුර පළාත් සඳහා සහ දුර පළාත් සිට කොළඹ දක්වා මගී ජනතාව ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව පළමු අදියර යටතේ පසුගිය 08 වැනිදා සිට එළැඹෙන 13 වැනිදා පස්වරුව දක්වා කොළඹින් පිට පළාත් සඳහා බස් රථ ධාවනය වන අතර, දෙවන අදියර යටතේ අප්‍රේල් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පිට පළාත් සිට කොළඹ දක්වා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වනු ඇත.
මෙම විශේෂ සේවාව සඳහා දිවයිනේ විවිධ ප්‍රාදේශීය ඒකකවලින් බස් රථ 1,500ක් කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පළ වෙත කැඳවා ඇති අතර ඊයේ (10) දිනයේ සිට ගතවූ පැය 24ක කාලය තුළ පමණක් බස් රථ 1,490ක් කොළඹින් බැහැරට ධාවනය කර තිබේ.
සාමාන්‍ය ගමන්වාර සඳහා බස් රථ 1,200ක් යොදවා ඇති අතර, විශේෂයෙන්ම මහනුවර සඳහා බස් රථ 148ක් ද, හැටන් සඳහා 98ක් ද, බදුල්ල සඳහා බස් රථ 60ක් ද වශයෙන් අතිරේක බස් රථ යොදවා ඇත.
මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය අඩාල වීම නිසා එම ප්‍රදේශ සඳහා පවතින දැඩි මගී ඉල්ලුම සැපයීමට මෙලෙස වැඩි බස් රථ ප්‍රමාණයක් යෙදවීමට පියවර ගෙන තිබේ.
මේ වන විට කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පළෙන් සෑම විනාඩි 20කට වරක්ම බස් රථයක් පිටත් වන අතර මගීන් පිරුණු සැණින් බස් රථ ධාවනයට එක් කිරීමට නිලධාරීන් කටයුතු කරයි.
මීට අමතරව පෞද්ගලික බස් රථ ධාවනය අඩු මට්ටමක පවතින කතරගම, තංගල්ල, ඇඹිලිපිටිය සහ හම්බන්තොට යන ප්‍රදේශ සඳහා ද අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.