ප්‍රදේශ කිහිපයකින්ම කොවිඩ් පොකුරු
ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඉන් 13 දෙනෙකුම ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක විපුල කුමාර මහතා පැවසුවේ, "අද දවසේ සිට එම ආයතනය වසා දැමීමට තීරණය කළා. ඒ අනුව ආයතනය විවෘත කරන්නට පෙර අනෙක් සේවකයින් පිරිසගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි." යනුවෙනි.
මේඅතර හැටන් බගවන්තලාව වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශවලින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබේ. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. ඒ අනුව මෙම ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 746කි. මේ අතර මාවනැල්ල හිඟුල් ඔය හා මහවත්ත ග්‍රාමසේවා වසම් දෙකෙන් ආසාදිත පුද්ගලයන් 87ක් සහ තිරිංගදෙනිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක් හඳුනාගෙන තිබේ.
කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ හැලමඩ ග්‍රාමසේවා වසමේ පැවති අවමංගල්‍ය උත්සවයක් හේතුවෙන් ඊට සහභාගී වූ 18 දෙනෙකු ආසාදිතවීමත් 60 දෙනෙකු පමණ පළමු ආශ්‍රිතයන් ලෙසත් හඳුනාගෙන තිබුණි. ඒ අනුව රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා හැලමඩ ග්‍රාම නිලධාරී වසමට ඇතුළුවීම හා ඉන් පිටවීම තහනම් කර තිබේ.
මේ අතර පාදුක්ක සතිපොළ පරිශ්‍රයේ පසුගිය 24 වැනිදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයා, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී අද (26) සොයාගනු ලැබීය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට වෛරසය ආසාදනය වී තිබූ බවය. හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේ, "එම පුද්ගලයාව පිළියන්දල රෝහලට ඇතුළත් කළා.
ඒ අනුව ඉදිරියේදී ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සොයාබලමින් පවතිනවා," යනුවෙනි.