ප්‍රදේශ රැසකින් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි
කළුතර, අධිකාරීගොඩ, කොස්හේන ප්‍රදේශයේ 53 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. අලුත් අවුරුදු දා එහි නිවසක පැවැති සාදයකට එම පිරිස සහභාගී වී ''කැට ගැසිමේ'' ක්‍රීඩාවේද නිරත වී ඇතැයි වාර්තා වේ.
ආසාදිතයින් අතර පාසල් ළමුන් ප්‍රවාහන කරන රියදුරෙක් සහ සහායිකාව ද සිටින අතර ඔවුන් පසුගියදා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ප්‍රදේශයේ ළමුන් පාසල් වෙත ප්‍රවාහනය කර තිබුණි. සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට නියමිත බවය.
ඒ අනුව අද පස්වරු 6 සිට අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි. දිවුලපිටිය , මැල්ලවගෙදර ප්‍රදේශයේ පොල්හේන සහ පොල්වත්ත යන ග්‍රාම සේවා වසම් දෙකෙන් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තාවීමත් සමග එම ප්‍රදේශයේ ගම්මාන 3කට පිවිසෙන මාර්ග වසාදමා සංචරණ සීමා පනවා තිබේ.
එම ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පිරිස් අද PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණේ පොල්හේන අක්කර පහ පොදු ක්‍රීඩාංගනයේදීය. කෑගල්ල බාලිකා විද්‍යාලයේ 5 වසර සිසුවියකට අසනීප තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල මහ රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ඒ නිසා ඇයගේ පන්තියේ සිටි සිසුවියන් 50 දෙනෙකු, ගුරුවරිය සහ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි. මේ අතර තිස්සමහාරාම ජූල් පල්ලම් ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ ආසාදිතයින් දෙදෙනාගේ ආශ්‍රිතයින් වූ 25 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වී තිබුණි.
අලුත් අවුරුද්දට පෙර දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තිස්සමහාරාමයේ රෝගියෙකු බැලීම සඳහා පැමිණි පිරිසගෙන් වෛරසය ආසාදනය වන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ. ඒ අනුව ගෙවුණු දින දෙක තුළ තිස්සමහාරාම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29 කි. මෙවැනි පසුබිමක තිස්සමහාරාමයට පැමිණීමෙන් වළකින ලෙස තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් 14 දෙනාගෙන් 5 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති ද වාර්තා විය. ගෙවුණු දින 3ක කාලයේදී කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වී තිබුණි. එම ප්‍රදේශයේ පසුගියදා පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසකගෙන් 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
ඒ අනුව අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ 100 දෙනෙකු පමණ පිරිසක් අද දිනයේදී PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කෙරුණි. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අනුරාධපුර පූජා භූමි වන්දනා සඳහා මේ සති අන්තයේදී නොපැමිණෙන ලෙස මහ සංඝරත්නය සහ එම පළාතේ ආණ්ඩුකාරවරයා ඊයේ මහජනයාගෙන් ඉල්ලා සිටියද බොහෝ පිරිසක් අද දිනයේදීත් අනුරාධපුර පූජා නගරය වෙත රැස්ව සිටිනු දක්නට ලැබුණි.
මෙලෙස පැමිණි පිරිස් අතරින් අහඹු ලෙස තෝරාගත් පිරිසකට PCR පරික්ෂණ 50 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 ක් සිදුකර තිබේ. ඉන් ඇන්ටිජන් පරීක්ෂාවේදී නිකවැරටියේ සිට පැමිණි වන්දනා නඩයක ප්‍රධානියාට වෛරසය වැළඳි ඇතැයි තහවුරු විය. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අවිස්සාවේල්ල නගරයේ පිහිටි වෙළෙඳසැළ්වල සේවක සේවිකාවන්ට අහඹු PCR පරීක්ෂණ සිදුකරනු ලැබීය.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉළුක්තැන්න ග්‍රාමයේ සිදු කළ අහඹු PCR පරික්ෂණවලදී 10 දෙනකුගෙන් 09 දෙනෙකුම කොවිඩ් ආසාදිතයන් වීම හේතුවෙන් එම ගම්මානය හුදකලා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ අතර කුරුණෑගල හිරිපිටිය නගරයේ වෙළෙඳසැල් කිහිපයකින් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම නගරය හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb