අද දිනයේ පළමු වතාවෙම මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහළ අගයක

curfew covid19 infections quarantine vaccinaton
By Sewvandhi Sep 15, 2021 12:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද (15) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන  495,851 ක් දක්වා ඉහළගොස් තිබේ.  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර,කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (14) භික්ෂූන් වහන්සේ නමක් වැඩම කර තිබුණි. එම අවස්ථාවේදී එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පවසා තිබුණේ අද එන්නත් ලබාදීමක් සිදුනොවන බවය.

ඉන් උරණ වූ එම භික්ෂුව එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී තිබුණි. පහර කෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට කැකිරාව දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලීසිය විසින් සැකකාර භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ,

"සයිනොෆාම් එන්නත් මාත්‍රා 5ක බහලුම් තමයි තියෙන්නේ. එකක් ගත්තොත් අනෙක් 4 අපතේ යන බවට මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවසමින් පහරදීම සිදුකරලා තිබුණා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now