වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර[UPDATE]
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බැවින්, වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අදාළ ස්ථානීය පරීක්ෂාව සිදුකළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට අද (08) දින නියෝග කර ඇත.
ඒ අනුව අඳාළ මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ විට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා.
එසේම මැයි මස 12 වැනිදා මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියට භාරදෙන ලෙස ද නියෝග කර ඇත.
අනතුරුව මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා. කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව වළක්වාලීමේ මෝසමක් ඉදිරිපත් කිරීමේ කටයුත්තක් සඳහා ඔහුගේ නීතිඥවරයා අද උදෑසන අඳාළ නිවසට පැමිණ ඇත.
එහිදී නීතිඥවරයා සහ නිවසේ සිටි පිරිස කපිල චන්ද්‍රසේන සිටි කාමරයට ගොස් තිබූ අතර, එම කාමරය වසා තිබීම නිසා නිවැසියන් සතු අමතර යතුරකින් එය විවෘත කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථවේදී කපිල චන්ද්‍රසේන බිම වැටී සිටින අයුරු දැක නිවැසියන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී ඇති බව සඳහන්.
ඉකුත් 2013 වසරේ මෙරටට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබුණු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දීමෙන් පසුව ඔහුව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග විය.
කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී
ඒ අනුව මාස 2 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු ඇප මත මුදාහරින මෙන් ඉකුත් 05 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි.
එහෙත් ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනකු කපිල චන්ද්‍රසේන සමග කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවට හෙළි වීමෙන් ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේ කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එබැවින් ඔහු යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඊයේ වරෙන්තු නිකුත් කර තිබුණා.
උදේට අත්ඩංගුවට ගන්න ඉන්න ඇති රෑ මෙහෙම දෙයක් වෙයි කියලා පොලීසිය හිතන්නේ නැහැ - ආනන්ද පොලිස්පතිගෙන් විමසන්න කියයි
එවැනි පසුබිමක කොල්ලූපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී කපිල චන්ද්‍රසේනගේ සිරුර හමු විය. 2013 වසරේ මෙරටට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගැනීම පිළිබඳව ජාත්‍යන්තරයේ ද එවකට වැඩි අවධානයක් හිමිවූ අතර, එහිදී එයාර්බස් සමාගම ද සිය කොන්ත්‍රාත්තුව තහවුරු කරගැනීමට ගැනුම්කරුවන් වෙත අල්ලස් ලබාදී දූෂිත ක්‍රියාවල නිරත වී ඇති බවට චෝදනා එල්ල විය.
එසේම මෙම ප්‍රශ්නගත ගනුදෙනුව පළමුවරට හෙළි වූයේ ප්‍රංශයේ ජාතික මූල්‍ය අභිචෝදක කාර්යාලය, එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය සහ අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විමර්ශනයක් ඔස්සේයි.
එහිදී ශ්‍රී ලංකාවට අදාළ ගනුදෙනුව සිදුකළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් බෲනායි හි ලියාපදිංචි කර තිබූ සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 16.84ක මුදලක් ලබාදීමට එකඟවී තිබූ බවටත්, ඉන් ඩොලර් මිලියන 2ක් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ සමාගමේ සිංගප්පූරුවේ තිබූ ගිණුමකට බැරවී තිබූ බවත් හෙළිව තිබුණා.