කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී[VIDEO]
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක්ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව අද(08) දින මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවට මියගිය චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් බවයි.
එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා තම දිවුරුම් ප්‍රකාශය මඟින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවද ඔහු පවසයි.
එසේම සාගර කාරියවසම් මහතා අනාවරණය කළේ,
"කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙකුටත් මම කිව්වා මම කියන දේ කරන්න කියලා, ඔහු ඒක නොකළ නිසා ඔහුට සිද්ධ වුණේ එල්ලී මැරෙන්න. ඒ නිසා මහා එකාගේ සහ පොඩි එකාගේ (මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ) නම් දෙක දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ ඒකම තමයි"
යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති බවට අඳාළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් බවයි. ඊට අමතරව ඔහු කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවට සම්බන්ධ සිසිර සිරිවර්ධන නැමැති පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඉතා දරුණු ආකාරයට තර්ජනයට ලක්වී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවද සිහිපත් කළා.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ආකාරයට මියයාම, භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800ක මුදලක් ඕස්ට්‍රේලියානු ගිණුමකට දැමීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පුද්ගලයා සැක සහිත ආකාරයට මියයාම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම යනාදී ලෙස අභිරහස් මරණ කිහිපයක්ම පිළිබඳව සාගර කාරියවසම් මහතා මෙහිදී කරුණු සඳහන් කළා.
ඊට අමතරව කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගතව සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපසද යම් කුමන්ත්‍රණයක් පවතින බවට මෙහිදී කාරියවසම් මහතා සැක පළ කර සිටියා.
"කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාව ඇප මත මුදාහැර තිබෙනවා. නමුත් ඇප මත මුදාහැරියාට පස්සේ, ඊයේ (07) දිනයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, ඔහුව අත්අඩංගුවට ගන්න. නඩුව අවසන්වන තෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමක් වෙන්න පුළුවන්. මොකද මේ නඩු කවදා ඉවර වෙනවාද කියලා අපි දෙන්නේ නැහැ. මේක ඇපකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි හොයලා බැලුවා, කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඇප ලැබෙන්නේ රිමාන්ඩ් භාරයේ ඉද්දී. මේ ඇපකරුවන් දෙදෙනා කවුද හොයා දුන්නේ කවුද කියන කාරණය. මොවුන් බොරු ඇපකරුවන් කියලා කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දී ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සොයා දුන්නේ, කවුද කියන කාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න. අපිට තියෙන ආරංචිය අනුව නම් ඇපකරුවන් දෙදෙනාවත් ලබාදීමත් මේ කාරණාවේම යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ සී.සී.ටී.වී කැමරා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. අධිකරණ පරිශ්‍රයේදී මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? ඒකට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරින් ද.? නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඒ පිටුපස හිටියා ද.? ඒ දෙන්නා මේ ආකාරයේ දෙන්නෙක් කියලා කොමිසම දැනගත්ත ආකාරය ගැන සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා වහාම විමර්ශනයක් කරලා මේ ඇපකරුවන් දෙදෙනාව ලබා දුන්න ක්‍රමවේදය මොකක්ද කියලා."
ඒ අනුව ඔහු ඉල්ලා සිටියේ බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවිය නොහැකි බැවින්, එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද සහ ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව අධිකරණ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර වහාම විමර්ශනයක් කරන ලෙසයි.
එසේම මෙම ප්‍රකාශයන්හි වගකීම තමන් භාර ගන්නා බවත්, රටේ සිදුවන මෙම බරපතළ තත්ත්වය පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද(08) දින කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමුවූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කර තිබුණේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී කපිල චන්ද්‍රසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් තිබූ අතර, එම නඩුවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී දින දෙකකට පෙර ඇප මත මුදාහැර ඇත.
එහෙත් ඇප ලබා ගැනීමේදී සිදු කළ බව කියන බරපතළ වංචාව හේතුවෙන් ඊයේ(07) දින ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,