"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැකකටයුතු ලෙස සලකා, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාරේ පිහිටි අංක 37 නිවසක තිබී අද (08) උදෑසන ඔහුගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් “බී” වාර්තාවට අනුව, මරණය සිදුව ඇති කාමරයේ නාන කාමරයට ඇතුළුවන දොර අසල පටියක් සිරවී තිබූ බවත්, දොර අසල පුටුවක් තිබූ බවත් සඳහන් වේ. මරණකරු බිම වාඩි වී සිටි ආකාරයකින්, හිස පුටුව මත තබා සිටින ලෙස දක්නට ලැබුණු බවද වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ගෙලෙහි කැඩී ඇති පටියක්ද නිරීක්ෂණය වී ඇති අතර, එය දොරේ සිරවී තිබූ පටියේ කොටසක් විය හැකි බවද පොලීසිය සඳහන් කරයි.

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය | Exclusive Ex Srilankan Airlines Ceo Kapila Death

මරණකරු කොළඹ 07, ඛාන්ස් පෙදෙසේ පදිංචි 1964 දී උපන් කපිල චන්ද්‍රසේන බවට හඳුනාගෙන ඇත. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකයද පොලිස් වාර්තාවේ සඳහන් වේ.

අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය නිලධාරීන්, ඇඟිලි සටහන් ඒකකය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය මගින් පරීක්ෂා කර ඇති අතර, පොලිස් නිල සුනඛ කොට්ඨාශයද විමර්ශන සඳහා යොදාගෙන තිබේ.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශද මේ වන විට සටහන් කරමින් පවතින බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත. මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් බාහිර සාහසික ක්‍රියාවක්ද යන්න තවමත් තහවුරු වී නොමැති අතර, ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් (post-mortem) සිදු කිරීම අවශ්‍ය බව පොලීසිය පවසයි.

මේ වන විට මෘත ශරීරය ඇති අංක 37, පේදිරිස් පාර, කොළඹ 03 ලිපිනයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂනයක් සිදු කර මරණයට හේතුව ගරු අධිකරණයට වාර්තා  කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ නඩුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 19, 2026 දින මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරමින් වාර්තා වූ කරුණක් ප්‍රසිද්ධ වුණා.

අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින්, චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන යුරෝ මිලියන 1.4කට අධික අල්ලස් මුදලින් රුපියල් කෝටි 08කට ආසන්න මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවට සඳහන් කිරීමත් සමඟ මෙම නඩුව තවදුරටත් අවධානයට ලක්වුණා.

එමෙන්ම, සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක (ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු ලබන 02 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය. 

කෙසේවුවද මේවනවිට දිවියෙන් සමුගත් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ බිය ගැන්වීම් සහ තර්ජනය කිරීම් මත බවයි.   

ඒ අනුව, කපිල චන්ද්‍රසේන මහතා විසින් ඉකුත්  මාර්තු 12, 2026 ප්‍රකාශයක් ලාබාදීම සඳහා සිය නීතිඥවරයා සමග අල්ලස් කොමිසමට ගියවිටත් එදින මරණ තර්ජන තුනක් ඔහුට ලැබී ඇති බවට වාර්තා වුණා. ඉන්පසුව මාර්තු 18, 2026 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී නීතිඥවරයෙකු සහ දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ පිටු තුනකින් යුත් දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කර ඇති බව වාර්තා වුණා. මාර්තු 19, 2026 දින අල්ලස් කොමිසම එම ප්‍රකාශය පදනම් කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ ප්‍රියංකර ජයරත්න මහතාට මුදල් දුන් බවට අධිකරණයට කරුණු දක්වයි. එය මාධ්‍ය හරහා ප්‍රචාරය වේ

දිවුරුම් ප්‍රකාශය

Gallery

උපුටා ගැනීම;

කොළඹ 07. ඛාන්ස් පෙදෙස, අංක 71/4 හි පදිංචි කපිල චන්ද්‍රසේන (ජා.හැ. අංක 196433810075) වන මා බෞද්ධාගමිකයකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංකවත්, ගාම්භිරතා පූර්වකව ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වගනම්,

1) ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.

2) මා ප්‍රකාශ කර සිටින්නේ 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන ලද දැනුම් දීමකට අනුව මාගේ නීතිඥවරයා සමග මා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගිය බවයි. 

3) මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණ ''සර් පොඩ්ඩක් යං '' යනුවෙන් මට කතා කර, එකී විමර්ශන අංශය පිහිටා තිබු එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමඟ නිලධාරින් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිළධාරියෙක් "ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ" ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.

4) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි හිස් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාඩි වීමට සැලැස්වු ‍බවත්, කාමරයට ඇතුලුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂර්ට් එකක්, කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළැඳ සිටි අල්ලස් හා දූෂණ විමරශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්. ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද' කියා ඇසූ බවත්, මම එවිට "ඔව් සර් යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැවූ බවයි.

5) මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු B 14363/19 අංක දරණ නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්‍රධානය කිරීමේ නියෝගය කරන ලද්දේ වාර්තමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවදියේදී බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූපවාහිහියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.

6) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා " මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිනිහට මම වාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන" යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළදා ගන්න තැනට මම වැඩ කරනවා" යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.

7) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට "ඔයා ප්‍රකාශෙ දෙන ගමන්නේ තාම ඉන්නේ, ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ" යනුවෙන් පැවසු බවයි.

8) මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇදී තිබු ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැති ගැන්මට ලක් වු බවත්, මා හටද මාගේ ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් එල්ල කරනු ඇති බවට වු බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බිරිඳගේද නම් ඇතුලුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.

9) මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.

උපුටා ගැනීම අවසන් 

ඔහුගේ දිවුරුම් ප්‍රකාශයට අනුව;

1. නීතිඥ සහාය ලබාගැනීම සීමා කිරීම

චන්ද්‍රසේන මහතා පවසන පරිදි, ප්‍රකාශය සටහන් කරමින් සිටියදී ඔහු නීතිඥවරයාගෙන් වෙන් කර වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇති බවත්, නීතිඥ උපදෙස් ලබාගැනීමට ඉල්ලීම් කළද ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවත් ඔහු සඳහන් කරයි.

2. අධ්‍යක්ෂක ජනරාල්වරයා සම්බන්ධ චෝදනා

ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ තවත් බරපතල කරුණක් ලෙස, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතා එම අවස්ථාවේ කාමරයට පැමිණ තමාට තර්ජනය කළ බවටද සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ, පෙර නඩුවකට අදාළ සිදුවීමක් සිහිපත් කරමින් දැඩි ප්‍රකාශයක් සිදු කළ බවත්, එය තමාට බියක් හා මානසික පීඩනයක් ඇති කළ බවත්ය.

3. නම් ප්‍රකාශ කිරීමට බලපෑම් කළ බවට චෝදනාව

චන්ද්‍රසේන මහතා පවසන පරිදි, අදාළ නිලධාරියා විසින් “මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන නම් ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස” බලපෑම් කර ඇති බවත්, එසේ නොකළහොත් බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට තර්ජනය කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

4. බියගැන්වීම මත ප්‍රකාශ ලබාදුන් බවට ප්‍රකාශය

එම පීඩනය සහ තර්ජන හමුවේ තමන්ගේ ප්‍රකාශය නිලධාරීන්ගේ අවශ්‍යතාවයට අනුව සකස් කරගෙන යාමට සිදු වූ බවත්, එමඟින් ඇතැම් දේශපාලන පුද්ගලයින්ගේ නම් ඇතුළත් වූ බවත් ඔහු දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇති බව වාර්තා වේ.