රජයේ සේවකයන් කොටසක් පඩිය එපා කියයි
ආපදා හේතුවෙන් සිදුවූ මරණවල හදිසි මරණ පරීක්ෂණ සඳහා දීමනා නොගැනීමට සංගමයේ තීරණයක් ගෙන ඇත. නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ මළ සිරුරු පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ සඳහා රජය ලබාදෙන කිසිදු දීමනාවක් භාර නොගැනීමට සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව, එම සංගමයේ සභාපති අනුර හේරත් මහතා පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රජයට දැරීමට සිදුවන ඉතිරි වියදම් සලකාබලා, ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට නැංවීමේ කාර්යයට සහය වනු ඇතැයි මෙම තීරණය ගත් බව ඔහු පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අධික වර්ෂා හා එයට සමගාමි ගංවතුර–නාය යෑම් හේතුවෙන් මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, බදුල්ල ඇතුළු කිහිප දිස්ත්‍රික්කවල මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ඒ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීම සඳහා, අදාළ ප්‍රදේශවල මරණ පරීක්ෂකවරුන් ජීවිත අවදානමකින්වත් නොසැලකිල්ලෙන් විශාල කැපකිරීමක් සිදුකළ බව සභාපතිවරයා සඳහන් කළා.
හඟුරන්කෙත, උඩුදුම්බර, නාවලපිටිය වැනි ප්‍රදේශවල මාර්ග නාය යෑමෙන් අවහිරවී තිබියදීත්, මරණ පරීක්ෂකවරු කිලෝමීටර් 20–25 පදවමින් ගොස් පරීක්ෂණ කරනු ලැබූ බවද ඔහු පෙන්වා දුන්නේය.
සෑම මරණ පරීක්ෂණයක් සඳහාම රජය දීමනාවක් ලබාදෙන අතර, රට පත්ව ඇති දැඩි අසීරුතාවය සැලකිල්ලට ගෙන, සාමාජිකයින්ගේ බහුතර එකඟතාවය මත, ආපදා හේතුවෙන් සිදුවූ මරණ සඳහා දීමනා නොගැනීමට සංගමය තීරණය කළ බව අනුර හේරත් මහතා ප්‍රකාශ කරයි.