රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්
මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාව අතරතුරදී රැඳවියන් විසින් සිදු කරන ලද දේපළ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කළ බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත මහතා සඳහන් කර ඇත සිදුවූ හානිය නිවැරදිව තක්සේරු කිරීම හා එම කොටස් ප්රතිසංස්කරණය සඳහා වන කඩිනම් යෝජනා මෙම කමිටුව හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය සෙනසුරාදා මහර බන්ධනාගාරයේ රැඳවියන් ඇති කළ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පුනරුත්ථාපන අංශ ගොඩනැඟිල්ල, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර මුළුතැන්ගෙය, ප්රධාන ජේලර්වරයාගේ කාර්යාලය හා කර්මාන්ත අංශයට මෙන්ම බන්ධනාගාර ගොඩනැඟිලි රාශියක් විනාශයට පත්ව ඇත.
ඒ වගේම රැඳවියන් රඳවා ඇති වාට්ටු හැරෙන්නට, පරිපාලන ගොඩනැඟිලිවලට පහර දෙමින් ගිනි තබා හානිකර රුපියල් කෝටි ගණනක හානියක් සිදුකර ඇත මීට පෙර 2020 නොවැම්බර් 29 හා 30 යන දිනවල මහර බන්ධනාගාරයෙන් වාර්තා වූ දරුණුතම ගැටුම අවස්ථාවේ ද මෙවැනිම විනාශයක් සිදුව ඇත.
එම විනාශයෙන් පසුව ඉදිකළ හා ප්රතිසංස්කරණය කළ බොහෝමයක් බන්ධනාගාර දේපොළ මෙහිදී නැවත විනාශයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර ඇත ඒ වගේම මහර බන්ධනාගාරයේ සිදුවූ සමස්ත සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්රිපුද්ගල නිලධාරි කමිටුවක්ද පත් කර ඇත.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එම කමිටුව මේ වන විටත් සිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.