සූර් වූ පොලිස් ලොක්කාට බල්ලෙක් කරපු අපරාදය
මත්පැන් පානය කරපු පුද්ගලයෙකුට තමන් කරන්නෙ මොකක්ද කියන දේ ගැනවත් හරි හැටි සිහියක් නැහැ.ඒ නිසා සමහරක් වෙලාවට විශාල කරදර වලටත් මුහුණ දෙන්න සිදුවන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එයාකාරයේ සිදුවීමක් පිළිබඳව සඳහන් කරන්න තමයි මේ සූදානම.
දැඩිව මත්පැන් පානයට ඇබ්බැහිවූවකු වන එම නිලධාරියා පසුගිය දිනක මධ්‍යම රාත්‍රිය වනතෙක්ම මිතුරකු සමග මත්පැන් පානය කර මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇත. අදාළ ගමන අතරතුරදී එම නිලධාරියා මෝටර් රථය වත්තක් අසල නතර කර කඩිනමින් වත්ත දෙසට ඇවිද ගියේ හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටය.
ඒ අතරතුර එම වත්තට යාබද නිවසේ සිටි හැඩිදැඩි වූ සුනඛයෙක් මෙම නිලධාරියා දෙසට කඩා පැන්නේය. ඉන් අන්ද මන්ද වූ මෙම තරු තුනේ නිලධාරියාට දෙයියෝ බුදුන් සිහිවූවා පමණක් නොව තමන් පැමිණි මෝටර් රථය ද අමතක විය. සැණෙන් දිවගොස් සුනඛයාගෙන් බේරුණු නිලධාරියා අසල නිවසක නතර කර තිබූ කැබ් රථයකට ගොඩ විය. ඉන්පසු සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. පසුදින අදාළ නිවැසියෝ තම කැබ් රථයේ සැක සහිත ලෙස නිදා සිටි මේ පුද්ගලයා පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ද දැනුම් දීමට සූදානම් වූහ.
එම අවස්ථාවේ අවදි වූ පොලිස් නිලධාරියා තමන් සොරකු හෝ කුඩුකාරයකු නොව අහවල් පොලිස් ස්ථානයේ ප්‍රධානියකු බව පවසා සිටියේ තම මුදල් පසුම්බිය ද අතට ගෙන එහි තිබූ තම නිල හැඳුනුම්පත ද පෙන්වමිනි. පසුව මේ නිලධාරියා තමා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයට ගිය අවස්ථාවේදී ඔහු සමග මත්පැන් පානය කළ පුද්ගලයා ද එහි සුව නින්දේ පසුවනු දැක තිබේ. මෙකී සිද්ධිය කිසිවකු නොදන්නා බව එම පොලිස් නිලධාරියා සිතා සිටියද අදාළ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ට එය දැන් රහසක් නොවන බව පැවසේ.
