පොලිස් නිලධාරීන්ගේ වැරදි හදන්න කොමිෂන් සභාව රට වටේ යයි - අලුත් වැඩපිළිවෙළ මෙන්න
පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට සැලකීමේදී මානව හිමිකම් උල්ලංඝනය වීම වැළැක්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කරමින් සිටී.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටි, සැකකරුවන්ට ඇති මූලික අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛ 13කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිකුත් කර ඇත.
පසුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු තීන්දු ගැනීමේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරයට සහ වගකීමට දැඩි අවධානය යොමු කර තිබීමද මෙම වැඩසටහන් ආරම්භ කිරීමට බලපෑම් කළ බව වාර්තා වේ.
පොලිස් කොට්ඨාස මට්ටමින් මෙම දැනුවත් කිරීම් සිදු කෙරෙමින් ඇති අතර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික් ගණනාවක පොලිස් ස්ථාන මේ වන විට ආවරණය කර ඇත.
මෙම වැඩසටහන්වලදී පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ විශේෂ දේශන පැවැත්වෙන අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඔවුන්ගේ රාජකාරි කටයුතු, උසස්වීම් සහ විනය ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස බලපෑම් කරන බවද වෙන වෙනම පැහැදිලි කෙරේ.